April 24, 2024

“පොහොට්ටු” සන්ධානයට පක්ෂ 14 යි - විමල්ට දිනේෂ්ට අලුත් තනතුරු

February 26, 2020

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද ඊට සහභාගි වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්ෂය යන පක්ෂ මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

මෙම සන්ධානය තුළ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ නවයක්  දැනට ඇතුළත් ව ඇති බවත් පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වූ අනිකුත්  පක්ෂ ලියාපදිංචිය සම්පුර්ණ කළ විට ඊට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

දැනට ප්‍රධාන පක්ෂ නවයක ප්‍රධානත්වයෙන් සන්ධාන  ගතව ඇති ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණු සන්ධානය තුළට නව දේශපාලන පක්ෂ පහක් ඇතුළත් කර ගැනීම සඳහා වූ යෝජනාවට විධායක සභාව මෙහිදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය,ලංකා කම්කරු කොංග්‍රසය,ජාතික කොංග්‍රසය, දෙමළ මහජන විමුක්ති සංවිධානය,එක්සත් මහජන පක්ෂය යන පක්ෂ ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නියෝජනය කරන පක්ෂ ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ඇත. මේ අනුව පක්ෂ 14 ක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට ඇතුළත් වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නියෝජ්‍ය සභාපතිවරයෙක් ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත්, ජාතික සංවිධායක ලෙස විමල් වීරවංශ මහතාත් පත්කර තිබේ.

මීට අමරතව එහි උප සභාපතිවරුන් ලෙස වාසුදේව නානයක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර යන මහත්වරුන් පත්කර ඇති අතර උප ලේකම්වරුන් ලෙස අසංක නවරත්න, ඩී කලංසූරිය යන මහත්වරුන් ද පත් කිරීමට සන්ධානයේ විධායක සභාවේදී තීරණය කර තිබේ.

Rate this item
(0 votes)