March 31, 2020

මාළු බනිසෙ මාළු නෑ වගේ සමගි බලවේගෙ සමගියත් නෑ - ගම්මන්පිල

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. '

එය හරියට වැලි තලපවල වැලි නෑ වගේ, මාළු බනිසෙ මාළු නෑ වගේ' යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

මෙලොව තිබෙන එකම ප්‍රජාතන්ත්‍රවාදී නොවන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව ද යම් දවසක රනිල් වික්‍රමසිංහ මහතා සිය කැමැත්තෙන් නායකත්වය අත්හළහොත් පමණක් සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකයා විය හැකි බව ද ගම්මන්පිල මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැලපෙන හොඳම අගමැතිවරයා සජිත් ප්‍රේමදාස මහතා බවට එජාපයේ ඇතැම් පුද්ගලයන් පසුගිය දිනවල ප්‍රකාශ කළ බව පෙන්වා දෙන ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසන්නේ එවැන්නක් සිදු වුවහොත් නයි - පොළොං සටනක් දකින්නට ලැබෙනු ඇති බවයි. එය පසුගිය කාලයේදී රටම දුටු රනිල් - මෛත්‍රී විකාර පාලනය වැන්නක් වන බැවින් නැවත වරක් රැවටීමට රටේ ජනතාව සූදානම් නොවනු ඇති බව ද ඔහු අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බවත් එතෙක් තමන් ගෙනයන සටන අත් නොහරින බවත් මන්ත්‍රිවරයා අවධාරණය කරයි. ප්‍රහාරයෙන් අසාධාරණයට පත් වූ ජනතාවගේ පැත්තේ සිට සාධාරණය ඉටුවන තුරු සටන් කරන බව ඔහු පවසයි.

Rate this item
(0 votes)