March 29, 2020

"යුද හමුදාපතිට ඇමෙරිකාවෙන් පැනවූ තහනම ප්‍රමාණවත් නෑ"

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළුවීම වළකාලමින් තහනමක් පැනවීම පමණක් ප්‍රමාණවත් නැති බවත් යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ විමර්ශනය කර යුක්තිය ඉටුකළ යුතු බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගකීම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මාර්ගයෙන් ආරක්ෂක මණ්ඩලය වෙත යොමුකර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා විභාග කළ යුතු බවත් සිවාජිලිංගම් මහතා කීය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සිය පවුලට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එරටට ඇතුළුවීම වළකාලමින් පනවා ඇති තහනම පිළිබද ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් පලකරමින් සිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මෙසේද කීය.

යුද්ධයේ අවසන් වකවානුවේ ශ්‍රීලංකා යුද හමුදාව යුද අපරාධ, මානව හිමිකම් කඩකිරීම්,බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ආදී අපරාධ රැසක් සිදුකර තිබෙනවා. යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව එවක කටයුතු කළේ වත්මන් යුද හමුදාපතිවරයායි. යුද්ධය නිමවී වසර දහයක් ගෙවී ගියත් ශ්‍රී ලංකා රජය සිදුවූ දෙමළ ජන සංහාරයට යුක්තිය ඉටුවුණේ නැහැ.

අපි ගතවූ දස වසරක කාලය පුරාම ජාත්‍යන්තරයට බලකර සිටියේ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහායෙන් හමුදාව විසින් සිදුකළ මෙම අපරාධ ගැන ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ විමර්ශනය කර යුක්තිය ඉටුකළ යුතුයි කියලයි. මන්ද ශ්‍රී ලංකා රජයෙන් දෙමළ ජනතාවට යුක්තිය ඉටුවනු ඇතැයි කියල කිසිදු විශ්වාසයක් නැහැ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 30/1 අංක දරණ යෝජනාවක් ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රහය ඇතිව සම්මත කලේ දේශීය නෛතික යාන්ත්‍රණයක් තුළින් යුද සමයේ සිදුවීම් ගැන විමර්ශනයක් සිදුකරන්න. නමුත් එයින් කිසිදු ඵලක් වුනේ නැහැ.ජිනීවා කවුන්සිලයත් ශ්‍රීලංකා රජයේ කීමට අවස්ථා දෙකකදී දෙවසර බැගින් කාලය ලබා දුන්නා ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න.එය වැරදි වැඩක් විදිහටයි මම දකින්නේ.

මෙවන් තත්වයක තමයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකා එක්සත් ජනපදය එරටට ඇතුළු වීම වළකාලමින් තහනමක් පනවා තිබෙන්නේ. ඔහුට හා හමුදාවේ නිලධාරීන්ට එල්ල වන යුද අපරාධ මානව හිමිකම් කඩවීම් ආදී චෝදනා  පිළිබඳ ඇති සාක්කි සහ සාධක පදනම් කරගෙනයි එම තහනම පනවල තිබෙන්නේ. එය අගය කළ යුතු කරුණක් වුනත් අපේ ඉල්ලීම යුද අපරාධ හා මානව හිමිකම් කඩකරමින් අපට සිදුකළ අයුක්තියට ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලකින් සමන්විත ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඉදිරියේ සාධාරණ විමර්ශනයක් කරමින් අපරාධකරුවන්ට දඩුවම් පනවමින්  යුක්තිය ඉටුකළ යුතුයි යන්නයි.

Rate this item
(0 votes)