March 29, 2024

වෙල්ගම සජිත්ගේ අලුත් සන්ධානයෙන් මැතිවරණයට! ශ්‍රීලනිපයේ තවත් පිරිසක් සූදානමින් Featured

February 17, 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට විරෝධය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනගන සන්ධානයට එක්වීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහි පෙරමුණ ගෙන කටයුතු කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ක්‍රියා කර ඇති අතර මේවන විට සාකච්ඡා පැවැත්වීමද ආරම්භ කර ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.

විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කිරීමට විරෝධය දක්වමින් ස්වාධීනව කටයුතු කරන බවට ප්‍රකශ කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද ඉදිරි මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නව සන්ධානයෙන් තරඟ කිරීමට සූදානම් බවත් ඔහු ඊට එක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස සිටියදී බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණු බව ද සජිත් පාර්ශවයේ ආරංචි මාර්ග පැවසී ය.

මේ වන විටත් පසුගිය ජනාධිපතිවරණයේදී ඇති කරගත් ගිවිසුම ප්‍රකාරව කටයුතු නොකරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් චෝදනා කරන අතර එනිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරන සියලු දේට එකඟ වෙමින් නැවත සාකච්ඡා පැවැත්වීම පවා ඵලක් නොවන කරුණක් බැවින් මහ මැතිවරණයේදී තනිව තරඟ කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර ඇති කරගැනීමට නියමිත නව සන්ධානය පිළිබඳ සාකච්ඡා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)