March 29, 2020

"එජාපය කෑලි කෑලිවලට කැඩිලා - කට්ටියක් පොහොට්ටුවටත් එනවා" - එස්.බී

එක්සත් ජාතික පක්ෂය තුළ දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් මේ වනවිට එම පක්ෂය කොටස් හතරකට කැඩී ඇති බවත් මතුපිටින් එකතු වී ඇති බව පෙනුනද කිසිවිටෙකත් ඔවුන්ට එක්ව යා හැකි ගමනක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

මෙරට දේශපාලනයේ බලවත්ම පක්ෂය වන පොදුජන පෙරමුණට එය අමතර වාසියක් බව ඇමතිවරයා පෙන්වා දෙයි.

එජාපය තුළ සිටින ප්‍රගතිශීලී, දේශප්‍රේමී කොටස් පොදුජන පෙරමුණ සමග එකතුවෙමින් සිටින බවත් ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේදී එජාපය තවදුරටත් සෝදාපාළුවට ලක්වන බවත් දිසානායක මහතා පෙන්වා දෙයි.

එස්.බී. දිසානායක ඇමතිවරයා මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් සමග අදහස් දක්වමිනි.

පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන කඳවුර තුළ එවැනි අර්බුදයක් නොමැති බවත් පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු ඉතා කඩිනමින් සිදුවන බවත් එහිදී ශ්‍රීලනිපය ඇතුළු සෙසු පක්ෂ සමග මතුවන ගැටලු මිත්‍රශීලීව විසඳා ගැනීමට හැකි බවත් ඒ සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

පොදුජන පෙරමුණ අද වනවිට ඉතාම දියුණු ඩිජිටල් පක්ෂයක් බවත් පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ජයග්‍රාහී සන්ධානයක් ගොඩනැගෙන බවත් ඔහු පවසයි.

Rate this item
(0 votes)