March 29, 2020

දෙස් විදෙස් ආයෝජන ප්‍රවර්ධනයට සහාය වන්නැයි ජනපති නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලයි

අනවශ්‍ය නිලධාරීවාදය සහ අධික රෙගුලාසි ඉවත්කර දේශීය ව්‍යවසායකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට රටේ නව ව්‍යාපාර ඇති කිරීමේ අවස්ථා පුළුල් කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමඟින් ව්‍යාපාරවලට පහසුකම් සැළසිය හැකි සරල කාර්යක්ෂම හා විධිමත් ව්‍යුහයක් නිර්මාණය වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ සඳහා පුළුල් සහයක් ලබාදීමට නීතිඥ ක්ෂේත්‍රයට හැකියාව ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

මීගමුවේ පැවති ජාතික නීති සම්මේලනය 2020 අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකවසංවිධානය කරන සම්මන්ත්‍රණයේ මෙවර තේමාව වූයේ “ශ්‍රි ලංකාව, මූල්‍ය සහ වාණිජ කේන්ද්‍රය: දැක්ම, අභියෝග සහ ඉඩ ප්‍රස්ථා” යන්නයි.

පුළුල් ක්ෂේත්‍ර රැසක් ඔස්සේ, වේගයෙන් දියුණුවන තාක්ෂණික ක්‍රමවේද ගෝලීය වාණිජ සහ කර්මාන්තවල විශාල පරිවර්තනයක් ඇතිකරමින් ඇති බවත් එම පරිවර්තනය සමඟ ශ්‍රී ලංකාවද ඉදිරියට ගමන් කළයුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා නව වෙනස්කම් මඟින් ලබාදෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට උත්සුක විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. 

වේගවත් තාක්ෂණික විපර්යාසය සමඟ ලොව වඩාත් වැදගත් වෙළෙඳපොළ වශයෙන් ආසියාව කේන්ද්‍රගත වී ඇති බවත් ආසියාවේ නැගී සිටීම අපරටේ ආර්ථික සංවර්ධනය ඇත් කර ගැනිමට ද උපරිම වශයෙන් ඉවහල් කර ගත යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ සඳහා කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් ක්‍රමවේද සකසා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට තම රජය කැපවන බව ද කියා සිටියේය. 

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජනයට සහ වැඩි රැකියා අවස්ථා නිර්මාණයට දේශීය සහ විදේශීය සමාගම් දිරි ගැන්වීමට රජය ක්‍රියාකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ජාතික සංවර්ධනය වේගවත් කිරීමට සහ ආර්ථිකයේ පූර්ණ ශක්‍යතාවට අවශ්‍ය සංශෝධන කිරීමට රජය අදහස් කරන බවත්
ව්‍යාපාරික රෙගුලාසි පද්ධතිය වැඩි දියුණුකිරීම ද අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසීය.

එමඟින් ව්‍යාපාර කිරීමේ පහසුව සැලසෙන අතර අක්‍රමිකතා හා අයතා භාවිතය වළක්වා ගැනීමට හැකි බවත් රට තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී කාර්යක්ෂමතාව සහ නීතියේ පිහිට පැතීමේ දී දැරිය හැකි මිල පිළිබඳව සැලකිල්ලට ගතයුතු කාලය එළැඹ ඇති බවත් ජනපතිවරයා පෙන්වා දෙයි.

රටේ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ආරවුල් කඩිනමින් පහසුවෙන් සහ දැරිය හැකි මිලකට විසඳා ගැනිමට අවස්ථාව තිබිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා යුක්තිය පසිඳලිම ප්‍රමාදවීම යුක්තිය ප්‍රතික්ෂේප වීමක් ලෙස සැලකෙන බව පැවසීය.

එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන් කලකිරීමට පත් කරන බවත් එබැවින් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ලෝකයේ වඩා හොද ස්ථානයකට පත්කිරීමට අධිකරණය රජය සහ නීති ක්ෂේත්‍රය එක්ව පූර්ණ විසඳුමක් ඉදිරිපත් කිරීමට කාලය එළැඹ ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විධායකය හෝ ව්‍යවස්ථාදායකය හෝ නීතිමය ක්‍රියාවලියට සහ අධිකරණයට මැදිහත් වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවත් ඒ හා සමානව විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරිත්වයට අධිකරණය අනවශ්‍ය ලෙස මැදිහත් නොවීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය.

Rate this item
(0 votes)