July 06, 2020

මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපති උපදෙස්

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.  

මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

දැනට අඩක් නිමකර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කඩිනමින් අවසන් කළ යුතු බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ග්‍රාමීය මාර්ග පද්ධතිය දසෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු බවයි පෙන්වා දී ඇත්තේ. 

ඉදිකිරීම් අවසන් කර ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසිලෙස නිමකර විවෘත කළ යුතු අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත් කුරුණෑගල සිට දඹුල්ල දක්වාත් පොතුහැර සිට ගලගෙදර දක්වාත් වන කොටස් කඩිනමින් අවසන් කළ යුතු ව්‍යාපෘති බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. 

ඉංගිරියේ සිට රත්නපුර දක්වා කිලෝමීටර් 76ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගී මාර්ග පද්ධතියට එක්කෙරෙන අතර එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ඇරඹීමට නියමිතයි. 

මේ අතර ගාලුපාර, කඩුවෙල, හයිලෙවල් සහ පිළියන්දල යන මාර්ගවල උදෑසන සහ සවස් කාලයේ කොළඹ දෙසට පවතින රථවාහන තදබදයට විසදුම් සෙවීම කඩිනම් කිරීමටද ජනාධිපතිවරයා නිලධාරීන් උපදෙස් ලබා දී ඇත. 

අධික තදබදය ඇතිවන ස්ථාන හඳුනාගෙන ගුවන් පාලම් හා උමංපිවිසුම් ඉදිකෙරෙන අතර නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම අධික මාර්ග තදබදයට විසඳුමක් බව මෙහිදී සාකච්ඡා වී ඇත. 

ගාලුපාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ පවතින රථවාහන තදබදයට විසඳුම් ලෙස ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත. 

මාර්ගය ඉදිකිරීමට සමගාමීව පොදු ප්‍රවාහන සේවය ද දියුණු කලයුතු අතර මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපභෝගී බස් රථ සහ පාසල් බස්රථ සේවා විධිමත් කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. 

එමෙන්ම සියලු ඉදිකිරීම් කටයුතු සඳහා දේශිය ඉංජිනේරුවරුන්ගේ පූර්ණ දායකත්වය ලබාගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන්ට දැනුම් දී ඇත.

Rate this item
(1 Vote)