April 20, 2024

සජිත් එජාප මන්ත්‍රීවරු කොළඹට කැඳවයි! අද අවසන් තීන්දුව දෙන්නැයි සජිත්ට මන්ත්‍රීවරුන්ගෙන් බලපෑම්

February 14, 2020

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(14)  එජාප පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ගේ හමුවක් කැඳවා තිබේ.

ඒ සමගි ජනබලවේගය නව සන්ධානයෙන් තරග කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහාය.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය විසින් සමගි ජනබලවේගය නමින් පක්ෂයක් පිහිටුවා ඇති අතර එම නව සන්ධානය 'හදවත' ලකුණින් මහ මැතිවරණයට තරග කිරීම සඳහා තීරණය කර තිබුණ ද ඊට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල බහුතර සාමාජිකයින් එකඟත්වය පළ කර නොතිබිණි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය අලියා ලකුණින් තරග කිරීමට තීන්දු කිරීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් පෙරේදා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළේය. එම සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ඔවුන් එහිදී නව සන්ධානය සඳහා අලියා ලකුණ ඉල්ලා සිටිය ද ඊට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී නොමැත.

ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති අතර ඒ සඳහා පක්ෂයේ මහලේකම් ධූරය ජෝන් අමරතුංග හෝ දයා පැල්පොල වැනි ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදීමට හැකියාව ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ (13) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එජාප ජාතික සංවිධායක නවීන් දිසානයක මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණින් හැර වෙනත් ලකුණකින් තරග නොකරන බව ය.

ලබන සඳුදා මෙම තත්ත්වය සමනය කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉදිරි සතියේ 24 හෝ 25 වැනිදා වන විට සමගි ජන බලවේගය ජනගත කිරීමට සජිත් පාර්ශවය සැලසුම් කර තිබේ.

ඉදිරි මැතිවරණයේදී එක කණ්ඩායමක් ලෙද ඉදිරිපත් වෙනවාද? කණ්ඩායම් දෙකක් ලෙස ඉදිරිපත් වෙනවාද? යන්න අවසන් තීන්දුව එක්සත් ජාතික පක්ෂය හා සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී ප්‍රකාශ කළ යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසී ය.

Rate this item
(0 votes)