April 20, 2024

ඡන්දෙ දිනන සැලසුම බැසිල් අතේ- නාමයෝජනා දෙන්න සුදුසුකම් රැසක් පරීක්ෂා කරයි Featured

February 14, 2020

ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීමට අවශ්‍ය සියලු සැලසුම් මේවන විට සකස් වී අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන් මාස දෙකක කාලයක් විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එදින සවසම නෙළුම් මාවත කාර්යාලයට පැමිණ ඉදිරි මහමැතිවරණය සඳහා අවශ්‍ය කරන කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු හිතවත් දේශපාලන පක්ෂ සියල්ල සමඟ සන්ධාන ගතවී මහ මැතිවරණයටද තරග කිරීමටත් ශ්‍රීලනිපය ඇතැම් දිස්ත්‍රික්ක සඳහා ඔවුන්ගේ තීරණය අනුව වෙනම තරඟ කිරීමටත් මේවන විට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය දේශපාලන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාහැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබාදීම සඳහා පැහැදිලි බහුතරයකින් මහ මැතිවරණය ජයගැනීමට සැලසුම් කර ඇතැයි ද ප්‍රකාශ කර ඇති බැසිල් රාජපක්ෂ මහතා තමන් ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන බවටද ප්‍රකාශ කර තිබේ.

මේ අතර භික්ෂූන් වහන්සේලා, විද්වතුන්, කලාකරුවන්, ව්‍යාපාරිකයින්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබා ගැනීමට දැඩි බලාපොරොත්තුවෙන් සිටින අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නායකයින්ට විවිධ ඉල්ලීම් සිදුකරන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉදිරි මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමේදී අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ ජනප‍්‍රියත්වය හා ප‍්‍රසිද්ධිය පමණක් සැළකිල්ලට නොගෙන ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු වෙනත් සුදුසුකම් පිළිබඳව සළකා බලා නාමයෝජනා ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇත.

ඒ අනුව ජනාතාව ප‍්‍රතික්‍ෂේප කළ හා අවශ්‍ය සුදුසුකම් සපුරාලිය නොහැකි පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදීමටත්, ජනතාවට පිළිගතහැකි ප‍්‍රතිපත්තිගරුක තැනැත්තන්ට වැඩි වශයෙන් නාම යෝජනා ලබාදීම කෙරෙහි පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

එමෙන්ම පොලිතීන් හා පෝසටර්, කටවුට් වලින් තොරව පරිසර හිතකාමීව හා විරුද්ධ පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට මඩ ප‍්‍රහාර එල්ල නොකරමින් මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යෑමටද පොදුජන පෙරමුණ දැනටමත් තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා මණ්ඩල පත්කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 February 2020 03:20