February 18, 2020

යාපනය සරසවි සිසුවෙකුගේ නිවසකට හා වාහන වලට ප්‍රහාරයක්

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු පදිංචිව සිටින යාපනය මාණිප්පායි ප්‍රදේශයේ පිහිටි නිවසකට හා වාහන වලට ඊයේ (11) රාත්‍රියේ නාදුනන පිරිසක් විසින් පහර දී ඇති බවට මාණිප්පායි පොලීසිය පවසයි.

ප්‍රහාරය එල්ල වී ඇති නිවසේ පදිංචිව සිටින සරසවි සිසුවා යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටියදී නවක සිසුන්ට අමාණුෂික නවක වදය දීමේ සිද්ධියට සම්බන්ධ වීම හේතුවෙන් පංති තහනමකට ලක් වූ අයෙකු බවටද පොලීසිය විසින් හඳුනාගෙන ඇත.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පිරිස් විසින් නිවෙස් ඉදිරිපිටට පැමිණ අදාල සිසුවාට එලියට පැමිණෙන ලෙසට විධානය කොට ඇති අතර සිසුවා නොපැමිණීම හේතුවෙන් නිවෙස්හි බඩුබාහිරාදියට මෙන්ම කාර් රථයකටද දැඩි හානි කොට පලා ගිය බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට නවක වදය ලබාදීමට එරෙහිව මෙම ප්‍රහාරය සිදු කොට ඇති බවට පරික්ෂණ සිදු කරන මාණිප්පායි පොලීසිය සැක පල කර සිටියි.

පහරදීම සිදුකල පිරිස් මෙතෙක් අනාවරනය වී නොමැති අතර අසල පිහිටි සී.සී.ටී.වී. කැමරා ආධාරයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවට මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)