April 06, 2020

ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් නොකිරීම ගැන එජාපය කණස්සල්ලෙන්

පසුගිය සමයේ සිදුකළ ව්‍යාපෘති සඳහා ලබා දීමට මුදල් නොමැති බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද, ජනාධිපතිවරණයෙන් පසු අයවැයක් ඉදිරිපත් කිරිම සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් වත්මන් ආණ්ඩුව සතුව පැවති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ජනාධිපතිවරණයට මාසයකට පමණ පෙර රජයක් ලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළ බවයි.

2020 අප්‍රේල් මාසය වන තෙක් එය වලංගු වී තිබු බවත් පැවසු ඒ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ඕනෑම අයෙකුට අවස්ථාව ලබා දෙමින් 2020 වසර සඳහා එවැනි අයවැයක් ඉදිරිපත් කළ බවත් පැවසීය.

ජනාධිපති ගෝඨාභය මහතාට හා ඔහුගේ රජයට මෙම වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය තිබු බවත් පැවසු මන්ත්‍රීවරයා, ඔවුන් පළමුවෙන්ම පාර්ලිමේන්තුව මාසයකට පමණ කල් දැමු බවද කියා සිටියේය.

නැවත පාර්ලිමේන්තුව ආරම්භ වී හෝ දැන් හෝ රටට අයවැයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ආණ්ඩුව සතු වු බවත් පැවසු මන්ත්‍රිවරයා අයවැය සඳහා තුනෙන් දෙකක් අවශ්‍ය බව ඔවුන් පවසා සිටින බවත් සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටිය දී එජාපයට තුනෙන් දෙකක් නොතිබෙන අවස්ථාවක දී පවා අතුරු අයවැයක් ගෙන ආ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතාගෙන් ප්‍රශ්න කීපයක් විමසීය.

එයට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ , එක්සත් ජාතික පක්ෂයේත් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවයි.

එය සංශෝධනය කිරීමට බොහෝ දෙනෙක් මේ වන විට කැමැත්ත පළ කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

Rate this item
(0 votes)