February 26, 2020

කොරෝනා සමඟ මුඛ ආවරණ අර්බුධයකුත් මතු වෙලා

මේ වන විට කොරෝනා වෛරස් තත්ත්වය හේතු කොට ගෙන උද්ගතව ඇති අධී ඉල්ලුම් වාතාවරණය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අලෙවිය සඳහා ඇති මුඛ ආවරණවල හිඟයක් දක්නට ලැබෙන බවත්, ඇතැම් වෙළෙඳුන් ඒවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට පෙළඹී ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අද (28) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිරාච්චි මහත්මියගෙන් විමසීමක් කළේය.

මාධ්‍යවේදියා -“ රු. 87කට තිබුණු මුඛවාඩම කූඨ වෙළෙඳුන් විසින් රු. 500 ත් ඉක්මවා මිලකට අලෙවි කරනවා. දැන් ජනතාවට මේවා ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඔබතුමිය මේ පිළිබඳව අවධානයක් යොමුකරලා තිබෙනවාද? හදිසි තත්ත්වයෙන් යටතේ අත්අඩංගුවට ගැනීම් කරන්න පුළුවන්ද? රජයට මේවා ජනතාවට නොමිලේ ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්ද?“

මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය මෙසේ කියා සිටියාය.

“මහජනතාවට මිල දී ගැනීම සඳහා පුළුවන් තරම් නිෂ්පාදනය වැඩි කිරීමට අද දවසේ මේවා නිෂ්පාදනය කරන ආයතන 3ක් සමඟ සාකච්ඡා කළා. මේවා නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීමත් බොහෝ දුරට චීනයෙන් කරන්නේ. ඒ නිසා නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීම පිළිබඳ අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා. අපි දැනට නිෂ්පාදන ආයතන වෙත උපදෙස් දීලා තිබෙනවා පුළුවන් තරම් උපරිමයෙන් නිෂ්පාදනය කිරීම සඳහා. ඒ වගේම අමුද්‍රව්‍ය වෙනත් රටවලින් හෝ ලබා ගන්න කියලා උපදෙස් දීලා තිබෙනවා.“

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි - “ලංකාවේ මේ මුඛ වාඩම් නිෂ්පාදනය කරන ආයතන තිබෙනවා. අපි ඒ ආයතනවලට උපදෙස් දීලා තිබෙනවා පුළුවන් තරම් උපරිමයෙන් නිෂ්පාදනය කරන්න කියලා. සමහරු ඇවිල්ලා ඉදිරිපත් වෙනවා, ඔවුන්ට රටවල්වලින් මේවා ගෙන්වන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකාවට වෛද්‍ය සැපයුම් ඉදිරිපත් කිරීමේ දී ගත යුතු යම් නීතිමය ක්‍රියාමාර්ග තිබෙනවා, ඒවායේ තත්ත්වය හා ඖෂධ නියාමන අධිකාරියේ මේ සම්බන්ධයෙන් ලියාපදිංචි විය යුතුයි, ඒවා කඩිනම් කරලා . සමහරු චීනෙන්ම මුඛවාඩම් ගෙන්වන්නත් අහනවා. මෙවැනි තත්ත්වයක දී ලෝකයේ හැම රටකම මේ වගේ හිඟ තත්ත්වයන් ඇති වෙනවා. මුළු ලෝකයම මේ වෙලාවේ මුඛවාඩම් ඇණවුම් කරමින් ඉන්නේ. අපි මේවා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්ශාලාවලට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඒවා ගේන්න බලාපොරොත්තු වෙන අයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ගෙන්වන්න අවසර දෙන්න පියවර ගන්නවා.“

Rate this item
(0 votes)