February 29, 2020

"තනතුරුවලට අපිව බෙදන්න බැහැ" - සජිත්

තමන් බිහිකරන ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්ය වන්නේ වත්මන් ආණ්ඩුව යටතේ පළිගැනීමට ලක් වූ සියලු දෙනාට සහන ලබා දීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා අවධාරණය කළේය.

ඒ,මාතලේ ලග්ගල ජන හමුවේදීය.

ජනාධිපතිවරණයේදී සහයෝගය පළකළ ජනතාවට ස්තූතිය පළකිරීම සඳහා එම රැස්වීමද සංවිධානය කර තිබුණි. 

ආණ්ඩුව පැවසුවේ රට සෞභාග්‍යයේ පාරාදීසය කරන බවට වුවද මේ වන විට බෙහෙත් පෙත්තේ සිට සියල්ල අහස උසට නැග ඇති බව විපක්ෂ නායකයා සඳහන් කළේය. 

''අද හැමතැනම දේශපාලන පළිගැනීම්. විසිහතර පැයම පළිගන්නවා. උසස් වීම් කප්පසු කරලා. රැකියා අහිමි කරලා දරු පවුල් ඈත් කරලා. සෞභාග්‍ය වෙනුවට දේශපාලන භීතිය වපුරලා. ගැබිණි මාතාවන්ගේ පෝෂණ මල්ල කපා දාලා. වකුගඩු රෝගී දීමනාව කප්පාදු කරලා. සියලු සහන නැති කරලා. අනාගතයේ ආපි හදන ආණ්ඩුවේ මුලින්ම කරන්නේ මේ පළිගත්ත ජනතාවට සහන සැලැස්සීමයි. ජනතාව ඉල්ලන,ජනතාව බලාපොරොත්තු වෙන දර්ශනයක් ඔස්සේ පෙරට යන්න ඕනේ.''

ඒ අනුව නව දැක්මකින්,නව මුහුණුවරකින් සිය ගමන ක්‍රියාත්මක කරන අතර කිසිදු වෙලාවක පාක්ෂිකයන් හෝ සාමාජිකයන් පාවා නොදෙන බවයි සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ. 

එය තහවුරු කරමින් තනතුරු නිසා හෝ නොකැඩි පුළුල් සන්ධානයකින් ඉදිරියට එන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.  

Rate this item
(0 votes)