April 06, 2020

අල්ලස් නඩුවෙන් ඇමති කෙහෙළිය නිදහස්

තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කළ දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ “දුෂණය”  වරද සිදුකළැයි චෝදනා ලැබූ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා සම්බන්ධ අල්ලස් නඩුවෙන් ඔවුන් නිදහස් කිරිමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද  (20)  නියම කළාය.

අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන් දෙදෙනාට නඩු පවරා ඇති බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් පිළිගනිමින් මහාධිකරණය දුන් නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් ඔවුන් දෙදෙනා නිදහස් කිරිමට මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

වර්ෂ 2010ක් වූ නොවැම්බර් 22 දින සිට ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් සේවයේ යෙදී සිටි පළමු චූදිත, තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තුව වූ රුපියල් 44,000/-ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු මස 15 වැනිදා සිට අපේ‍්‍රල් 14 වැනිදා දක්වා කාලයේ භාවිතා කළ දුරකතන බිල වූ රුපියල් 230, 984. 45/-ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කර කුමන්ත‍්‍රණය කර අල්ලස් පනතේ දුෂණය වරද සිදුකළැයි චෝදනා තුනක් යටතේ එක් නඩුවක් අල්ලස් කොමිසම අධිකරණයට ගොනු කර ඇත.

එසේම, ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට එරෙහිව පවරා තිබූ අනෙක් නඩු 13ට අදාළව අල්ලස් කොමිසම චෝදනා ගොනු කර තිබුණේ වර්ෂ 2010 වර්ෂයේදී රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවේ සභාපතිවරයාව සේවයේ යෙදි සිට ඇති එම චූදිත, රාජ්‍ය ආයතනවල යහපාලනය පිළිබඳ  මාර්ගෝපදේශ සංග‍්‍රහයට පටහැනි ලෙස භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ නියෝග නොසලකා හරිමින් ‘ද සවරින්’ හෝටලයේ නවාතැන් ගෙන රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවේ මූල්‍ය කළමණාකරුට රුපියල් හත් කෝටි තිස් හතර ලක්ෂ තුන්දහස් හාරසියයක මුදලක් ගෙවීමට පෙළඹවීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් වරද සිදුකර ඇතැයි සඳහන් කරමින් නඩු පවරා තිබිණි.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී  විත්තිකරුවන්ගේ නීතිඥවරුන් විසින් මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට මුලික විරෝධතාවයක් මතු කළ අතර මහේස්ත‍්‍රාත්වරයා විසින් එය මඟහැරිම හේතූවෙන් ඊට එරෙහිව මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය පිළිගත් මහාධිකරණය විත්තිකරුවන් නිදහස් කිරීමට නියම කළේය.

මහාධිකරණයේ එම නියෝගය කියවා දුන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය විත්තිකරුවන් දෙදෙනා නිදහස් කළ අතර කෙසේ වෙතත් නිසි ආකාරයට යළි නඩු පැවරීමට පැමිණිල්ලට බාධාවක් නොමැති බවද අවධාරණය කළාය.

Rate this item
(1 Vote)