February 23, 2020

රංජන්ගේ හඬපට ජිනීවා යෑමේ අවදානමක් - ජවිපෙ

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට මඟින් අනාවරණ වන කරුණු ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව භාවිත කිරිමේ අවධානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නලීන්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රංජන් රාමනායක මහතා විසින් සිදු කළ දේවල් ඉතා මෝඩ ක්‍රියාවන් බව ඕනෑම අයෙක් දන්නා බවයි.

එමෙන්ම බොහෝ දෙනෙක් මෙම හඬපට පටු දේශපාලන වාසි සඳහා යොදා ගෙන ඇතැයි ද පැවසු ඒ මහතා මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ, පෞද්ගලික වශයෙන් සිදුවන හානියට වඩා බරපතළ තත්ත්වයකට රට පත්වීම බවද කියා සිටියේය.

මීට සති කීපයකට පෙර ස්විස්ටර්ලන්ත තානාපති නිලධාරිනියක් පැහැර ගෙන යෑමේ සිදුවීමක් වාර්තා වු බව පැවසු ඒ මහතා, එම අවස්ථවේ ස්විස්ටර්ලන්ත රජය විසින් ලංකාවේ අධිකරණ කේෂ්ත්‍රය පිළිබඳ අවධානය යොමු කර ඇතැයි නිවේදනයක් නිකුත් කළ බවත් පැවසීය.

ස්විස්ටර්ලන්තය ප්‍රමුඛ යුරෝපා සංගමය විසින් ලංකාවේ අධිකරණ කේෂ්ත්‍රය පිළිබඳ සැකයක් ඇති කිරීම සඳහා යම් ප්‍රකාශයක් කර තිබිය දී මේ සිදුවීම් එයට රැකුලක් වු බවත් ජයතිස්ස මහතා කියා සිටියේය.

එයින් ලෝකය ඉදිරියේ ලංකාවට හෑල්ලුවට ලක්වන බවත් ඉදිරියේ පැවැත් වෙන ජීනිවා සමුළුවේ දී සාක්ෂි ලෙස මෙම හඬපට ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)