January 30, 2020

කෘෂි ගොඩනැගිල්ලේ ඇත්ත කතාව

මේ වන විට රුපියල් ලක්ෂ 241 ක මාසික කුළියක් ගෙවන රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශය කඩිනමින් බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය වෙත ගෙන යෑමට කැබිනට් මණ්ඩලය ගෙන තිබෙන තීන්දුව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න මහතා ක්‍රියාත්මක නොකරන බවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එල්ල කල චෝදනාව සත්‍යයෙන් තොර එකක් බවට හෙළිදරව් වී තිබේ.

අංක 288, ශ්‍රී ජයවර්ධනපුර පාර, කෝට්ටේ, රාජගිරිය. ලිපිනයේ පිහිටි DPJ ගොඩනැගිල්ල 2016/04/08 දින සිට වසර 5ක කාලයක් සඳහා කුලී පදනම මත ලබාගත් ආකාරය හා ඊට ගෙවන ලද ගෙවීම් පිලිබදව සමාජයේ විවේචනයක් එල්ලවිය. ඒ සඳහා වූ ගිවිසුම 2016/04/11 වන දින අංක 2178 යන බදු එකඟතාවය මත ලියාපදිංචි කොට තිබේ.

අදාල බදු ගිවිසුමේ පිටපත,

නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු 2019/12/06 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී යලිත් කෘෂිකර්ම අමාත්‍යංශය සහ ගොවිජන මන්දිරයේ තිබූ අනෙකුත් අමාත්‍යංශ බත්තරමුල්ල, රජමල්වත්ත පටුමඟෙහි අංක 80/5 යන ලිපිනයේ පිහිටි ගොවිජන මන්දිරය වෙත කඩිනමින් ගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. එම කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්කරන ලදි. ඒ අනුව ඔහු යටතේ පවතින සියලුම අමාත්‍යංශ කඩිනමින් ගොවිජන මන්දිරය වෙත ගෙන ඒම සඳහා අනුමැතිය ලැබිණි.

ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල සංදේශය පහතින්,

DPJ ගොඩනැගිල්ලේ හිමිකුරු වන උපාලි ජයසිංහ වෙත ගෙවනු ලැබූ වසර 2ක අත්තිකාරම් මුදලින් අවම වශයෙන් කොටසක් හෝ නැවත අයකර ගැනීමේ යෝජනාව වෙතද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එම මුදල රුපියල් මිලියන 579 කි.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු කාරක සභා සඳහා ලබාගන්නා ලද මෙම ගොවිජන මන්දිර ගොඩනැගිලෙන් මේ වන විට ප්‍රයෝජනයට ගනු ලබන්නේ ඉතා සීමිත ඉඩක් බැවින් ගොඩනැගිල්ලේ විශාල ඉඩකඩ ප්‍රමාණයක් හිස්ව පවතියි.

අදාළ බදු ගිවිසුමට අනුව එය අවසන් වීමට නියමිතව ඇත්තේ 2021/04/08 දින වන අතර එම කාලය අවසන් වන විට ගෙවනු ලබන සමස්ථ කුලී මුදල රුපියල් මිලියන 1335කි. ඒ හැර අමාත්‍යංශයේ වෙනත් අවශ්‍යතා හා උපකරණ සඳහා මිලියන 530 කට අධික මුදලක් ද මහජන බදු මුදලින් වියදම් කොට ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් වරයා මේ ආකාරයට කටයුතු කරන්නේ නම් තමන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධූරය දැරීමෙන් ඵලක් නොවන බැවින් එම ධූරයෙන් ඉල්ලා අස්වී කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් වරයාට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ ලබාදෙන බවද වික්‍රමනායක මහතා ප්‍රකාශකර තිබේ.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට ඒෂින් මිරර් අප උත්සහ කලද එයට ප්‍රතිචාර නොදක්වන ලදී. වික්‍රමනායක මහතාගේ මෙම විරෝදධට හේතුවී තිබෙන්නේ අමාත්‍යංශ ලේකම්වරයා එහි වෙනත් නිලධාරිනියක් සම්බන්ධයෙන් ගත් විනය පියවරක් සම්බන්ධයෙන් නිසා බවට තොරතුරු එලිදරව් වෙමින් තිබේ.

Rate this item
(2 votes)
Last modified on Monday, 13 January 2020 17:41