August 13, 2020

හඬපටයකින් ජනතාවට දීපු පොරොන්දු යටපත් කරන්න බෑ - ගයන්ත

වත්මන් රජය ජනාධිපතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ක්‍රියාවට නැංවීම සඳහා විපක්ෂය කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් වීමෙන් පසුව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගෙන මල්වතු අස්ගිරි මහ නිහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසීය.

මෙහිදී තව දුරටත්  අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා මෙසේද පැවසීය.

"රජය ජනතාවට බොහොම සහන දෙන පොරොන්දු රාශියක් ලබා දුන්නා. ජනතාව ඡන්ද පොළට ගියේ විවිධ පුද්ගලයින් විවිධ බලාපොරොත්තු හිතේ තියා ගෙන. වතු කම්කරුවා ජනාධිපතිවරණයේදී ඡන්ද පොළට ගියේ රුපියල් 1000ක වැටුපක් ලැබීමේ බලාපොරොත්තුවෙන්.අපි කිව්වා ඒ වතුකම්කරුවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද පොළට යා යුත්තේ රුපියල් දාහ ලබන වතු කම්කරුවකුහැටියට කියලා ඒකට අවශ්‍ය සහාය දෙන්න අයවැයක් ගෙනාවොත් කොන්දේසි විරහිතව වගකිව යුතු විපක්ෂයක් හැටියට සහාය දෙන්න අපි සූදානම් කියලා කිව්වා. ඒ වගේම ක්ෂුද්‍රමුල්‍ය ණය කපා හැරීමේ බලාපොරාත්තු තියාගෙන අපේ රටේ ගෘහණියෝ ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්න ගියා ඒ ගෘහණියෝ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය දීමට යායුත්තේ ඒ ණය බරින් සම්පූර්ණයෙන් මිදිච්ච  පිරිසක් හැටියටයි.  ඒ වගේම පාසැල් දරුවන්ට විවිධ පොරොන්දු දුන්නා. බෑග් එකක් දෙනව කිව්වා සපත්තු කුට්ටමක් දෙනව කිව්වා. ඒ දරුවන්ගේ දෙමාපියෝ ලක්ෂ ගාණක් එහෙම බලාපොරොත්තු ඇතිව ඡන්ද පොළට ගියා. ඉතින් රජයට අපි කිව්වා මේ කඩිනමින් ලබා දෙන්න අයැවැයක් ගේන්න පාර්ලිමේන්තු මැතිවරණයක්  එනකම් ඉන්නේ නැතිව."

"ඒකේ වාසිය එන්නේ ආණ්ඩුවට අපට නෙවෙයි. අපි දුන්න යම් යම් පොරොන්දු දින සීයේ ආණ්ඩුව වෙලාවේ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරපුවා, තෙල් මිළ පහත බස්සපුවා, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ පහත බස්සපුවා අපි ඒවා ඔක්කොම කරල තමයි ඡන්දයට ගියේ. ඒ නිසා අපි කිව්වා විපක්ෂයක් හැටියට අපි හැම දේකටම විරුද්ධ වෙනවා වෙනුවට ජනතාවට සහන දෙන කටයුතුවලට අපේ සහාය දෙන්නම් කියා අපි කිව්වා. ආණ්ඩුව කල්පනා කරනවානම් කාගේවත් හඬපටයකින් මේ දීපු පොරොන්දු යටපත් කරන්න පුළුවන් කියලා ආණ්ඩුවට වරදින්නේ එතැන තමයි.  මේ රටේ ඡන්ද දායකයා ඉතාමත් බුද්ධිමත් ජනතාව නිතර කල්පනා කරනවා. ඉස්සර ආණ්ඩුවක් බලයට පත් වුණාම ජනතාව කතා කරන්නේ  තව අවුරුදු දහයකටවත් මේ ආණ්ඩුව හොල්ලන්න බෑ කියලා. නමුත් මේ ආණ්ඩුව බලයට පත් වෙලා  සතියක් දෙකක් යන කොට ජනතාවට ජිවන වියදම ආදිය දැනෙන්න පටන් ගෙන තියෙනවා. මිනිස්සු මොකද්ද දැන් කියන්නේ මේ ආණ්ඩුව කොච්චර කල් දුවයිද කියලා ඒ නිසා මේකේ වෙනසක් තියෙනවා .ජනතාව බොහොම ඉදිරියෙන් ඉන්නවා." යැයිද කීය.

Rate this item
(0 votes)