July 06, 2020

වතුර දෙන්න සල්ලි නැත්නම් ඇමතිකම අතහරින්න වාසු සුදානම් Featured

ජලය නොමැති ජනතාවට එම පහසුකම් ලබාදිමට ආණ්ඩුවෙන් ප්‍රමාණවත් මුදල් නොලැබෙන්නේ නම් තමා සිය අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ජලය නොමැති ජනතාව පිළිබඳව වගකීමක් ඇති බවයි.

එවැනි ජනතාවට ජලය ලබා දීම සඳහා ගෙන යන වැඩපිළිවෙල පසුගිය ආණ්ඩු විසින් සිදු කළ තැනට වඩා වෙනස් තැනකට ගෙන යා යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරයා පවසා සිටියේ ජනතා කේන්ද්‍රීය වැඩ පිළිවෙලක් බවත් පැවසු ඒ මහතා, ජනතාවට ප්‍රතිලාභ බෙදී යන ආකාරයෙන් එය ඉටු විය යුතු බවත් කියා සිටියේය.

තමා කියන දේවල් සිහින කථා විය හැකි බවත් පැවසු ඒ මහතා, තමා එවැනි අයෙක් බවත්, තමා වාමාංශික සමාජවාදියෙක් බවත් පැවසීය.

තමාට අතරමැද නැවතිය නොහැකි බවත් පැවසු වාසුදේව මහතා, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට ලබා දෙන ආකාරයෙන් ජල සැපයුමටත් සැලකිය යුතු මුදලක් ලබා දිය යුතු බව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.

අයවැයෙන් මුදල් වෙන් කළ යුතු බවත් එසේ නොමැති නම් තමා ඇමතිකමේ නොසිටින බවත් පැවසු වාසුදේව මහතා, ඉදලා වැඩක් නැති බවත් දුප්පත් මිනිසුන්ට වතුර නොමැති අතර යමක් තිබෙන මිනිසුන් කුමක් හෝ කර ගන්නා බවත් පැවසීය.

Rate this item
(0 votes)