April 07, 2020

එජාපයට නායකත්ව මණ්ඩල පත්කරන්න දෙන්නේ නැහැ

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය නොදී නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට උත්සාහ කළහොත් එයට ඉඩදෙන්නේ නැතැයි එම පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

පක්‍ෂයේ වත්මන් නායකයින් එක්වී සජිත් ප්‍රේමදාස මහතාගේ පක්‍ෂ නායකත්වය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට යාමට අවශ්‍ය තීරණය ගත යුතු යැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
පක්‍ෂයේ බහුතරයකගේ මෙන්ම ජනතාවගේ අපේක්‍ෂාවද එය බව කී එළඹෙන බ‍්‍රහස්පතින්දා දිනයේදී එම තීරණය ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද හර්ෂණ රාජකරුණා මහතා කීවේය.
 
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
 
පක්‍ෂ නායකත්වය ගැන තීරණයක් ගැනීම සඳහා බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන සාකච්ඡව අසාර්ථක වුණොත් ඉදිරියේදී ගන්නා තීරණය කුමක්ද? නව පක්‍ෂයක් පිහිටුවීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද? යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියා ප‍්‍රශ්න කළේය.
 
එයට පිළිතුරු දෙමින් හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසුවේ පක්‍ෂයේ සියලූ දෙනාම එක්කරගෙන ඉදිරි ගමන යා යුතු බවයි.
 
පක්‍ෂයේ නායකයින් එක්වී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට යාමට ඉඩ දිය යුතු බව කී මන්ත‍්‍රීවරයා එසේ නැතිව නායකත්ව මණ්ඩල හෝ වෙනත් දේවල් කිරීමට ඉඩ දිය නොහැකි බව ද කීවේය.
 
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා ද පැවසුවේ පක්‍ෂයෙන් කිසිවෙක් ඉවත් කිරීමේ හෝ පක්‍ෂය කඩාගෙන යාමේ අදහසක් නැති වුවත් සජිත් පේ‍්‍රමදාස මහතාට නායකත්වය නොදුනහොත් පක්‍ෂය නොකැඩෙන හා ඉදිරි මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට හැකි තීන්දුවකට යාමට සිදුවන බවයි.
 
විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ බෙදීමකින් තොරව සමගි වී ඉදිරියට යාම බව කී මන්ත‍්‍රීවරයා පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ඡන්දය දුන් ලක්‍ෂ 56ක ජනතාවගේ අපේක්‍ෂා ඉටුකිරීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන බව ද කීවේය.
 
එබැවින් පක්‍ෂයේ වත්මන් නායකයින් බුද්ධිමත් තීන්දුවක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ල ඔවුන් එසේ නොකර රාජපක්‍ෂවරුන්ගේ කොන්ත‍්‍රාත් කිරීම සඳහා කටයුතු කරනවා නම් තමන්ටද තීන්දුවක් ගැනීමට සිදුවන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

Rate this item
(0 votes)