January 30, 2020

සිල් රෙදි සහ එක්නැළිගොඩ නඩුවලටත් රන්ජන් අතපොවලා - තවත් හඬපට දෙකක් එළියට (VIDEO)

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව විභාග වූ සිල් රෙදි නඩුවේදී ද හිටපු ඇමැති රන්ජන් රාමනායක අධිකරණයට බලපෑම් කළ බව හඬපටයකින් තහවුරු වී තිබේ.

අදාළ හඬපටය හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක මහත්මිය හා රන්ජන් රාමනායක මහතා අතර සිදුවන කතාබහකට අදාළ වන්නකි.

මේ බව ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කැඳවුම්කරු විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මාධ්‍යයට අනාවරණය කරනු ලැබීය.

සිල් රෙදි සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පැවැති නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය එම සිද්ධිය පොදු දේපළ පනත යටතට අදාළ නොවන බවට තීරණය කළ බවද එම මාධ්‍ය හමුවේදී විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න කීය. ඉන් පසුව කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරු කර යවා කුලියාපිටියේ සිට මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය කොළඹට කැඳවා අදාළ නඩුවේදී ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් වරදකරුවන් බවට තීන්දු කළ බවද පැවැසීය.

මේ අතර රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ රන්ජන් රාමනායක අතර පැවැති තවත් දුරකථන සංවාදයකට අදාළ හඬපටයකදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වන අවස්ථාවේ යුද හමුදා කර්නල් දයා රත්නායක නමැත්තකුද අතුරුදන්ව ඇතැයි ශානි අබේසේකර හෙළිකර තිබේ.

මේ සම්බන්ධයෙන් පෙරේදා (11) පැවැති මාධ්‍ය හමුවකදී විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා සඳහන් කළේ අදාළ අතුරුදන්වීම් දෙකටම සෘජුවම වගකිව යුත්තේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක බවය.

අතුරුදන්වූයේ යැයි ශානි අබේසේකර හෙළිකරන ලද කර්නල් දයා රත්නායක යනු පාඨලී චම්පික හිටපු ඇමැතිවරයා සමඟ සමීපව සිටි පුද්ගලයකු යැයිද ඔහු අනාවරණය කළේය. විමර්ශන නිලධාරියකු ලෙස මෙම තොරතුරු දැන සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂකවරයාව සිටි ශානි අබේසේකර එය සඟවාගෙන සිටීම බරපතළ වරදක් බවද සඳහන් කළ අජිත් ප‍්‍රසන්න ඒ බව මෙම සිද්ධියද රංජන් රාමනායක හා ශානි අබේසේකර මහතා අතර සිදුවූ සංවාදයකට අදාළ හඬපටයකින් හෙළිවූ බව අනාවරණය කළේය.

ඉහත සිද්ධීන් දෙකට අදාළ හඬපට විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 January 2020 10:33