September 25, 2020

කොටන් ඇදපු සියලු දෙනාට සලකන්න සජිත් සුදානමින්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා ජනතාව වෙනුවෙන් කැපකිරීම් කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්තල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මහ මැතිවරණ ජයග්‍රහණය ඉලක්කය වන බවයි.

ඒ ජයග්‍රහණය කරා යන ගමනේ දී සියලු දෙනාට කැප කිරීම් හා පරිත්‍යාග කිරීමට සිදුවන බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා, තමාට ජනාධිපතිවරණයේ දී හයියක් වු ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට අවශ්‍ය බවත් කියා සිටියේය.

ජනතාවගේ ශක්තිය තුළින් මෙවර ලබන ජයග්‍රහණයේ දී  න්‍යාය පත්‍රය ආරම්භ කරන පළමු මාතෘකාව වන්නේ “කොටන් ඇදපු සියලු දෙනාට සැලකීමේ උතුම් වැඩපිළිවෙල“ යි යනුවෙන් ද පැවසීය.

ජනාධිපතිවරණයේ දී මෙවැනි ප්‍රතිඵලයක් ලැබීමට ප්‍රධානතම හේතුව වන්නේ, තීන්දු තීරණ ගැනීමට කල්ගත වීම බවද ප්‍රේමදාස මහතා කියා සිටියේය.

තමන්ගේ මැතිවරණ ගමන ආරම්භ කරන විට ප්‍රතිවාදී බොහෝ දුර ගොස් ඇතැයි ද පැවසු ඒ මහතා, ඒ අසාධාරණය තමන්ට සිදුවු බවත් පැවසීය.

තනතුරු තබා ගෙන සිටින අයට ඒවා බදාගෙනම සිටින ලෙසත් ඒ අතර තුර තමා මන්ත්‍රී සංඛ්‍යාව රැක ගන්න රට පුරා ගොස් දිවි හිමියෙන් යුතුකම ඉටු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

එහිදි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාද අදහස් පළ කරමින් පවසා සිටියේ, පාලන තන්ත්‍රය තුළ ජනාධිපතිධූරය නොලැබුණත් සජිත් ප්‍රේමදාස මහතාට නොබෝ දිනකින් මේ රටේ ජනාධිපතිවරයා වීමට ඉඩ ඇති බවයි.

විපක්ෂ නායක ධූරයේ සිට පක්ෂය ජයග්‍රහණය කරා ඉතා ඉක්මනින් ගෙන යෑමට සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිය ලැබේවා යනුවෙන්ද මෙහිදී ජෝන් අමරතුංග මහතා කියා සිටියේය.

Rate this item
(0 votes)

Live