May 25, 2020

"රාජ්‍ය ඇමැතිවරු කිසිදු විෂයක් නැතිව පිං පඩි ලබමින් සිටිනවා"

රටේ වැදගත්ම ආයතන එකසීය පනස් ගණනක් රාජපක්ෂවරුන් අතරේ බෙදී යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු කිසිදු විෂයක් නොමැතිව පිං පඩි සහ වරප‍්‍රසාද ලබමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

2015ට පෙර රාජපකෂ ආණ්ඩු සමයේ කාර්යබාරයක් නොමැතිව පත්කළ ඇමැති තනතුරටම අද රාජ්‍ය අමාත්‍යවරුන් පත්ව ඇති බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මුජිබර් රහුමාන්  මහතා මෙසේද කීය.

‘‘මේ නව රජය බලයට පත්වෙලා කැබිනට් මණ්ඩලයක් පත්කරලා ඒ අමාත්‍යාංශ යටතේ එන ආයතන ගැසට් කර තිබෙනවා. ඒ ආයතන දිහා බලපුවාහම ආරක්ෂක අමාත්‍යාංශය  යටතට ආයතන තිස් ගණනක් පත්කරලා තියෙනවා.

අපේ  යහපාලන රජය යටතේ අපි සිවිල් ආයතන,  දෙපාර්තමේන්තු ලෙස පවත්වාගෙන ආ ආයතන පවා ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරගෙන තිබෙනවා.

ඒ අනුව වෙනත් අමාත්‍යාංශ යටතේ තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, රාජ්‍ය නොවන සංවිධානවල මහලේකම් ආයතනය, කාළගුණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය ආදී ආයතන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙනත් තිබෙනවා.

ආයතන තිස් ගණණක් ආරක්ෂක අමාත්‍යාංශහය යටතට ගෙනාවත් අද වනතෙක් ආරක්ෂක අමාත්‍යවරයෙක් නැහැ. කවුද රටේ ආරක්ෂක ඇමති කියලා මේ රජය වහාම රටට හෙළි කළ යුතුයි.

19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අමාත්‍යධුර දරන්න බැහැ.  ජනාධිපති රටේ සේනාධිනායකයා විදියට ඉන්නවා. එතකොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙක් ඉන්නවා.  නමුත් මේ ආයතන එකක්වත්  එයාගේ යටතට ගැසට් කරලත් නැහැ. එයා නමට රාජ්‍ය ආරක්ෂක ඇමැති පමණයි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතට  රටේ වටිනාම ආයතන ගැසට් කරලා තිබුණත් ඒවායේ වගකීම බාර ගන්නේ කවුද කියලා තවම අපට ප‍්‍රහේලිකාවක්. ජනාධිපති ආරක්ෂක  ඇමතිද, එහෙම නැත්නම් වෙන කවුරු හරි ආරක්ෂක  අමාත්‍යවරයෙක් පත් කරලා තියෙනවද? ආරක්ෂාව සම්බන්ධයෙන්  වගකිවයුත්තා කවුද කියන එක පැහැදිලි කළ යුතුයි.

දැන් කැබිනට් ඇමතිවරු 16ක් ඉන්නවා. අමාත්‍යාංශ 29ක් තිබෙනවා. සමහර කැබිනට් අමාත්‍ය්‍යවරුන්ට අමාත්‍යාංශ දෙක බැගින් ගිහින් තියෙනවා. දැන් අගමැතිතුමාට  අමාත්‍යාංශ  තුනක් අයිති වෙනවා. එතුමගේ අයියට අමාත්‍යාංශ දෙකක් තියෙනවා. ඒ වගේ සමහර අයට  අමාත්‍යාංශ දෙකයි. සමහර අයට එක අමාත්‍යාංශය බැගින් බෙදලා දීලා තියෙනවා.

Rate this item
(0 votes)