December 12, 2019

රෝයල් පාක් ඝාතකයා ජනපති නිදහස් කළේ අති විශාල ප්‍රතිලාභයකට Featured

රෝයල් පාක්හි ඉවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වී මරණීය දණ්ඩනය ගෙවමින් සිටී ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙන්නේ අති විශාල ප්‍රතිලාභයක් මත බවට තොරතුරු හෙලිදරව් වී තිබේ.

ප්‍රතිලාභයේ ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව තවමත් තොරතුරු හෙළිදරව් වී නොමැත.

ධූරයෙන් ඉවත්වීමට සතියක පමණ කාලයක් තිබියදී ජනාධිපතිවරයා ගත් මෙම තීන්දුව පිළිබඳව ඝාතනයට ලක්වූ ඉවාන් ජොන්සන්ගේ සොහොයුරිය වූ කැරොලින් ජොන්සන් සිය මුහුණු පොතේ සිය විරෝධය සටන් කරමින් සටහනක් තබා තිබේ.

මෙම ඝාතනය පිළිබඳ නඩුව ආරම්භයේ සිටම විත්තිකාර පාර්ශවය මුදල් වියදම් කරමින්, අල්ලස් ලබා දීමට උත්සාහ කරමින් එම නඩුවෙන් නිදහස් වීමට ගත් උත්සාහය ඇයගේ එම සටහනේ දක්නට තිබේ .ඒ අනුව බලද්දි ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් හිමි වූ ප්‍රතිලාභය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට පුළුවන.

මෙම චූදිතයා මෙම වරද කර තිබෙන්නේ අවුරුදු 19දී බවත් දැන් ඔහු අවුරුදු 33 ක උපාධිධාරියකු වන බවත් මේ වන විට ඔහු පුනුරුත්තාපනය වී තිබෙන බැවින් තමා ඔහු නිදහස් කිරීමට තීරණය කළ බව ජනාධිපතිවරයා විසින් තමා ගත් තීන්දුවට හේතුව ලෙස පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයාගේ මෙම හේතු දැක්වීම විකෘති එකක් බවට කැරලින් ජොන්සන් සිය සටහනේ සදහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව ජන සමාජයේ මෙන්ම නීති ක්ෂේත්‍රයේ ද දැඩි විවේචනයට ලක්ව තිබේ.

ජූඩ් ශ්‍රමන්ත ජයමහ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ රෝල් පාක්හි ඉවෝන් ජොන්සන් තරුණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම හිමි ව තිබූ තැනැත්තෙකි.

2005 ජූනි දෙවෙනි දින රෝයල් පාක්හි 23 වැනි මහලේ දී ඉවෝන් ජොන්සන් ලුහුබැඳ ඇය අල්ලා ගෙල සිර කර, හිස පොළොවේ ගසා ඇය බිමට ඇද වැටී ඇය මිය ගිය බව පෙන්වීමට එම මහලෙන් බිමට තල්ලු කොට ඇයවව ඝාතනය කර තිබුණි. ඇගේ සිරුර පොලිසිය විසින් සොයාගනු ලැබුවේ 19 වෙනි තට්ටුවේදීය.

මිට පෙර ජනාධිපතිවරයා තමන්ව ඝාතනය කිරීමට උත්සහ කළ බවට චෝදනා ලැබ සිටි LTTE ත්‍රස්තවාදියෙකුට ද ජනාධිපති සමාව ලබා දෙන ලදී.

කැරොලින් ජොන්සන් සිය මුහුණු පොතේ තබා තිබු සටහන මෙසේය.

මියගිය ඉවොන්ගේ සොයුරිය කැරොලින් සහ ඝාතක ශ්‍රමන්ත ජූඩ් අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර 2005 වසරේ ජුනි මස දෙදෙනා අතර ආදර ගැටලුවක් පැනනැගී තිබේ. මෙම ගැටලුවට මුල මියගිය ඉවෝන් සොයුරියට කේලාම් කීමක් යයි සැක කර තිබෙන ශ්‍රමන්ත ජූඩ් අධික කෝපයෙන් යුතුව ඇයව මරා දමා ඇත්තේ අමානුෂික ආකාරයටය.

රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ 23වන මහලේ සිට ලුහුබැඳ ඇයව බිම දමා ගෙල සිරකර ඇයගේ හිස්කබල කුඩුවනතුරු සිමෙන්ති පොළවට ඇයගේ හිස ඇන තිබෙන ශ්‍රමන්ත පසුව ඇය ඉහළ සිට වැටී මියයාමක් යයි අඟවන්නට ගොඩනැගිල්ලෙන් තල්ලු කර තිබේ.ඇයගේ සිරුර හමුවන්නේ 19 වෙනි මහලෙන් බව පොලිස් වාර්තාවල දැක්විණි.

අධිකරණයේදී හෙළි කළ පශ්චාත් මරණ වාර්තාවට අනුව ඇයගේ හිස්කබල කෑලි 64කට කුඩු කර තිබූ බව වාර්තාවිය. මෙතරම් අමානුෂික ඝාතනයක් සිදු කළ ශ්‍රමන්ත ජූඩ්ට මෙම ඝාතන සම්බන්ධයෙන් දීර්ඝ නඩු වාරවලින් අනතුරුව වරදකරුකොට 2012 වර්ෂයේදී කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී. ඔහු එයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණත් 2014දී අභියාචනාධිකරණය මරණ දඩුවම නැවත ලබාදුණි.සීසීටීවී දර්ශන පවා නැති කාලයක දක්ෂ නීතීඥයින්ගේ සියුම් තර්ක හමුවේ ඝාතකයාට මරණ දඩුවම ස්ථිර කරන්නට හැකිවීම ගැන ඒ දිනවල මාධ්‍ය තුළ ප්‍රශංසා ලිපි පළ විය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මිනීමරුවාට සමාව දෙන්නට යන බව ප්‍රකාශ කිරීමෙන් පසු මේ පිළිබඳව සිය මුහුණු පොතේ ගිණුමට ප්‍රකාශයක් කරමින් මියගිය ඉවෝන් ජෝන්සන්ගේ සහෝදරිය වන කැරොලින් ජොන්සන් පවසා තිබුනේ වූදිතයා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔහුගේ පවුලේ උදවිය බලය හා මුදල් යොදා ගනිමින් සිටින බවයි. මෙවැනි දෙයක් තමන්ගේ පවුලට, සහෝදරියට, හෝ වෙනත් අයෙකුට සිදුවන්නේ නම් එය කෙසේ දැනේවිදැයි කැරොලින් එහිදී ප්‍රශ්න කර තිබුණි. එම සටහන මෙසේය.

"අපගේ පියා ස්වීඩන ජාතිකයෙක් උනත් මගේ මව ශ්‍රී ලාංකිකයෙක්. අපි හැදුනෙ වැඩුණෙ කොළඹ. 2005 දී කොළඹදි සාහසික ලෙස ඝාතනය උනු 19 හැවිරිදි මගේ සොයුරියගෙ පුවත ඔබ අසන්නට දකින්නට ඇති. මගේ සහෝදරිය ඉතාමත් සතුටින් ජීවිතය ගත කරපු තරුණියක්. අනික් හැම තරුණියක්ම වගේ හීන සහ බලාපොරොත්තු වලින් පිරුණු සමීප විශ්වාසවන්ත යහළු යෙහෙළියන් සමඟව ඉතාම සමීපව ජීවිතය ගෙවපු, ඔවුන් ගැන සොයා බලපු ආදරණීය චරිතයක්. ඇය මෝස්තර නිර්මාණය පිළිබඳව හදාරමින් උන් සිසුවියක්, ඇය ඉතාමත් හොඳ සොයුරියක්.

මෙය හදිසි කෝපය නිසා සිදුවූවක් නෙවෙයි. මෙය සිතාමතා කළ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්. මේ ඝාතකයාට ඔහුගේ චරිතය සම්බන්ධව ඉතිහාසයක් තියෙනවා ඔහුගේ පාසල් සමයේ සිටම. වසර 15ක් පුරාවට අපි යුක්තිය වෙනුවෙන් අයදිනවා.

ඔහුගේ පවුල ඉහළම තැන් වලට අල්ලස් දීම මගින් ගැලවීමට තැත් කරද්දී අප යුක්තිය වෙනුවෙන් වසර 15ක් පුරා සටන් කරනවා. මුදල වෙනුවෙන් ඝාතනයක් යටපත් කරන්න උත්සහ දරන පුද්ගලයන්ට ඔබ ලබාගත්තේ ලේ තැවරුණු මුදල් බව මම මතක් කරනවා. අද වෙනතෙක් ඔහු තමන්ගේ තිරිසන් හැසිරීමට සමාව අරන් නෑ. මේ තීන්දුව අප බලාපොරොත්තු නොවූවක් නොවේ. ධනය-බලය-සබඳතා හරහා ඔහු නිරන්තරයෙන් යුක්තියෙන් ගැලවීමට උත්සාහ දරමින් හිටියා. මම මෙහිදී වඩාත් විමතියට පත්වන්නේ ජනාධිපතිවරයා කරන විකරරූපී කරුණු දැක්වීම ගැනයි. තමන්ගේ සොයුරියට මේ දේ සිදු උනා නම් ප්‍රතිචාරයද මෙයමද කියලා හිතා බලන්න මම ආරාධනා කරනවා."

Rate this item
(3 votes)
Last modified on Monday, 11 November 2019 16:58