ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග අවබෝධතා ගිවිසුමට එළඹීමට එම පක්ෂයේ ප්රතිපත්ති ද හේතු වූ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
හෙට්ටිපොලදී පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ඊයේ පස්වරුවේ හෙට්ටිපොල පිහිටි සිය නිවසේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ජනහමුවක් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවේ අදහස් දැක්වු ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පල කළේ මෙවන් අදහසකි.
"ඊයේ පෙරේදා මම ආදරය කරන චන්ද්රිකා කුමාරතුංග මැතිණිය මට බැනලා තිබුණා. මම ඒකට කලබල වෙන්නේ නෑ. කුමාර වෙල්ගමත් මට බැනලා තිබුණා. මට ඕනේ තරම් බනින්න හැබැයි මතක තියාගන්න 1951 සැප්තැම්බර් 2වෙනිදා බණ්ඩාරනායක මැතිතුමා යූ එන් පී එකෙන් එළියට බැස්සේ අවුරුදු 68කට නැවත ශ්රී ලංකා නිදහස් පක්ෂය යූ එන් පී එකේ එල්ලන්න නෙවේ. සියයට සියයක් අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ දිනවන්න එකට හදවතින් බැදිලා ඉන්නවා."