November 13, 2019

ශ්‍රීලනිපය හා පොහොට්ටුව එක්ව ගෝඨාට අතිවිශිෂ්ට ජයක් ගේනවා - මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක්වීම තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂියින් පිරිසක් සමග කෑගල්ලේ පැවති හමුවකදී  විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ කෑගල්ලේ පිහිටි නිවසේ පැවති ජනහමුවකට එක්විය.

මෙහිදී අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මේ දිනවල බොහෝ සතුටින් සිටින බවයි.

පක්ෂ නායකයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඇති කළ මෙම එකතුවට තමන්ගේ ස්තූතිය පිරිනමන බවද පැවසු ඒ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට කළ හැකි සියලු දේ කරන බවත් පැවසීය.

ඒ අනුව කෑගල්ල වැඩි ඡන්ද 150,000කින් ගෝඨාභය මහතාට ජයග්‍රහණය ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂය එක් පෙරමුණකට පැමිණ ඇති බවයි.

“අපි නිවුන් සහෝදරයෝ වගේ“ යනුවෙන් පැවසු විපක්ෂ නායකවරයා, ගිය මැතිවරණයෙන් පිහිටවු ආණ්ඩුව ජනපති තමන්ට විපක්ෂයේ බලය දුන් බවත් කියා සිටියේය.

“විපක්ෂයේ ඉඳන් අපි පක්ෂයක් හැදුවා“ යනුවෙන් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ප්‍රාදේශීය සභාව ආසන 71%කින් ජයග්‍රහණය කළ බවත් පැවසීය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව ඇල්පිටියට වෙන්ව තරග කළ බවත් එහිදී ප්‍රතිඵල දෙකම එකතු කළ විට සියයට හැත්තෑ ගණනින් ජයග්‍රහණය කර ඇතැයි ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා,ශ්‍රීලනිප ය හා පොහොට්ටුව එකතුව කරන සටනින් අතිවිශිෂ්ඨ ජයක් ලබන බවත් කියා සිටියේය.

Rate this item
(0 votes)