November 21, 2019

ප්‍රතිපත්ති ප්‍රකාශන ජනතාව විශ්වාස කරනු ඇතැයි සිතීම යථාර්ථයක්ද? මිත්‍යාවක්ද?

2010 - 2015 කාලය තුළ මේ රටේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු ජයරත්න මහතා ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ වරක් අපූරු කතාවක් කීවේය. "අපි ඕවා ඡන්දයට පමණයි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ ඕකෙ තියෙන කිසිදෙයක් අපි කරන්නේ නැහැ." ඒ දිනවල ඔහුගේ මේ ප්‍රකාශයට විශාල ප්‍රචාරයක් ලැබුණි.



දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයාගේ බලතල බොහෝ කප්පාදු වී ඇත. එවන් තත්වයක් තුල රටේ සෑම අංශයක් පිළිබඳව තනි පුද්ගලයකු ලෙස ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම එදා දි.මු ජයරත්න මහතා විහිළුවක් ලෙස කියූ කරුණට අද යම් නෛතික තත්වයක් ලැබී තිබේ. එනම් දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ජනතාවට කුමක් පොරොන්දු වුවද එය ඉටු කිරීමට ඔහුට බලයක් නොමැත. ජනාධිපතිවරයාට තමන්ට අදාළ විෂය පථයේ පමණක් කටයුතු කිරීමේ වගකීම දැන් පැවරී තිබෙන අතර ඉන් ඔබ්බට ගොස් කටයුතු කිරීමෙන් අදාළ විෂය පථයේ ඉටු කල යුතු කරුණු ඉටු කිරීම මග හැරීමට හේතු වෙයි.

අද ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රකාශ කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇති කරුණු ක්‍රියාත්මක කිරීම කළ යුත්තේ රාජ්‍ය ප්‍රතිපත්තීන් ලෙසය. එම රාජ්‍ය ප්‍රතිපත්තීන් සැකසිය යුත්තේ, සාකච්ඡා කළ යුත්තේ, සංශෝධනය කළ යුත්තේ, අනුමත කළ යුත්තේ ව්‍යවස්ථාදායකය එනම් පාර්ලිමේන්තුව මගිනි.



ඒ අනුව ප්‍රධාන පාර්ශවයන් වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "රට හදන සෞභාග්‍යය දැක්මක්" සජිත් ප්‍රේමදාස මහතාගේ "ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු" අනුර කුමාර දිසානායක මහතාගේ "අපේක්ෂාවේ උදානය" ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා ජනතාවට කුමක් ඉදිරිපත් කළ ද ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබදව ගැටලුවක් මතුවී තිබේ.


1994 සිට 2015 දක්වා පැවැති ජනපතිවරණ පහේදීම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම එම ජනාධිපතිවරණ ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධානම පොරොන්දු විය. එහෙත් තවමත් එය ඉටු නොවී තිබීම මත මේ රටේ ජන්දදායකයා තුළ ‍ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ තිබෙන විශ්වාසය ඉතා අවම වී තිබේ.එය මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් හොඳාකාරවම දන්නා කරුණකි. ඒ නිසාම තවදුරටත් මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් පලක් තිබේදැයි අපේක්ෂකයින් සිතා බැලිය යුතු කාලය දැන් එළඹ තිබේ.

1948 සිට මේ දක්වා පැවැති ප්‍රධාන මැතිවරණ වලදී ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට ශ්‍රී ලංකාව අපායක් නොව සුරපුරයක් යයි ඡන්දදායකයා උපහාසයෙන් ප්‍රකාශ කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ තමන් තුළ තිබෙන ආකල්පය දේශපාලඥයන්ට ද තේරුම් ගැනීම සඳහාය.


Rate this item
(0 votes)