April 02, 2020

මැතිවරණ සමයේ ඇමෙරිකාව සමඟ ගිවිසුම් අත්සන් කිරිම සුදුසු නෑ

රටේ බලය මාරුවන ජනාධිපති මැතිවරණයක් අභියස සිට කඩිමුඩියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැනි රටට බලපාන ගිවිසුම් ඇමරිකන් සමාගමක් සමඟ අත්සන් තැබීම සුදුසු නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (3) පැවසීය.

ජනතාවත් පාර්ලිමේන්තුවත් දැනුවත් කර නිසි සංවාදයකින් පසුව රටට අහිතකර නොවන්නේ නම් මැතිවරණ වලින් පසුව එය සිදුකළ යුතුව ඇතැයි ද ඔහු පැවසීය.

ටිල්වින් මහතා මේ බව සඳහන් කළේ පැල්වත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර තවදුරටත් මෙසේ ද පැවසීය.

"අපේ රටේ ඉඩම් පිළිබඳ ගැටලූ නිරවුල් කර එම තොරතුරු සියල්ල පරිගණක ගත කිරිම, ප‍්‍රවාහන පද්ධතිය හා මාර්ග පද්ධතිය නිරවුල් කිරිම මෙහි ප‍්‍රධාන අරමුණු ලෙස දක්වා තිබෙනවා.  ඉඩම් පිළිබඳ තොරතුරු සියල්ල පරිගණක ගත කර විදේශීය සමාගමක් අතට පත් කිරිම බරපතල අනතුරකට මුලක් විය හැකියි. ඒක රටේ ස්වෛරීභාවයටත්, අර්ථිකයටත් විශාල බලපෑමක් සිදුවිය හැකි තත්ත්වයක් ඇති කරනවා. මෙහි ඇති බරපතලම ගැටලූව වන්නේ රටේ ඉඩම් වෙළඳ භාණ්ඩයක් බවට පත්කර  ඕනම විදේශීය සමාගමකට ලංකාවේ ඉඩම් මිලදි ගැනීමට ඉඩ සැලැස්වීමෙන් රටේ ස්වෙරීභාවයට සිදුවන හානියයි."

"අපේ රට දුප්පත් රටක්. ගොවියා දුප්පත්. ඒ නිසා ඉඩම් පිළිබඳ ගැටලූ නිරවුල් වුණාම තමන්ගේ දුප්පත්කමට උත්තර ලෙස ඉඩම විකීමට පෙළඹීම වැඩියි.  අනතුර තිබෙන්නේ ඒ නිසයි. මේක බහුජාතික සමාගම්වලට අපේ ඉඩම් පහසුවෙන් මිලදී ගන්න හදපු ගිවිසුමක් ලෙසයි අපිට පේන්නේ. මෙතෙක් කලක් පැවති ආණ්ඩු විදේශීය සමාගම් හා රටවල් සමඟ අත්සන් කළ ගිවිසුම් වලින් රටට සෙතක් වෙනුවට සිදුවූ අහිතකර බලපෑම් වැඩි නිසා ජනතාව තුළ මෙවැනි ගිවිසුම් සම්බන්ධයෙන් සැක මතුවීම සාධාරණයි. ගිවිසුමෙන් සිදුවන්නේ රටට සෙතක් නම් එය ජනතාවටත් පාර්ලිමේන්තුවටත් වසන් කිරිමේ අවශ්‍යතාවයක් නැහැනේ. ආණ්ඩුව මේක හංගන එක තුළම සැකයක් ඇති කරනවා. ගිවිසුම අත්සන් කිරිමෙන් පසු පාර්ලිමේන්තුවට එය සංවාදයට ගන්න පුළුවන් කියලා ඇමෙරිකානු තානාපති කාර්යාලය කියලා තිබෙනවා. ඒකෙන් කිසිම වෙනසක් කරන්න බැහැ. හොඳම ක‍්‍රියාමාර්ගය නම් ජනතාව දැනුවත් කර පාර්ලිමේන්තුවත් දැනුවත් කර ඇති කරගන්නා සංවාදයකින් පසු රට හිතකර ලෙස ගිවිසුම් අත්සන් කිරිමයි."

Rate this item
(0 votes)