February 26, 2020

රට බෙදන ගිවිසුමක් තිබේ නම් මම එවැනි පක්ෂයකට සහාය දෙන්නේ නෑ - අර්ජුන Featured

රට බෙදන , ඒකීයභාවයට හානීදායක කිසිම ගිවිසුමකට දෙමළ ජාතික සන්ධානය සමග හෝ වෙනත් කිසිදු සංවිධානයක් සමග නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එකඟතාවයකට එළඹි නැති බවත් එවැනි රට විනාශ කරන ගිවිසුමක් තිබෙනවා නම් මම මුලින්ම මෙම පෙරමුණෙන් ඉවත්වෙන බව ප්‍රවාහන සිවිල්ගුවන් සේවා අමාත්‍ය  අර්ජුන රණතුංග මහතා පවසයි.

දොම්පේ කොට්ඨාසයේ එජාප පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදී අමාත්‍යවරයා එසේ පැවසුවේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"සජිත් ප්‍රේමදාස මහතා දිනවිම රටට ආදරය කරන සැමගේ යුතුකමක් හා වගකීමක් වනවා. මුලදී සජිත්ට අපේක්ෂකත්වය නොදෙන බවට රාජපක්ෂවරුන් කදුළු හෙලුවා.  නමුත් දැන් ඔවුන් ඒ මහතාට අපහාස උපහාස කරනවා. ගමේ ජනතාව එක හඬින්ම ඉල්ලා සිටින්නේ සජිත් මහත්තයාට අපේක්ෂකත්වය ලබාදෙන ලෙසයි. 2015 රට තිබුණ තත්ත්වය කෙහොමද කියලා හිතා බලන්න 2010 මම සරත් ෆොන්සේකා මහත්මයාට උදවු කලා. 2015 මෛත්‍රීපාල මහත්තයට උදවු කලා .ඒ චන්ද්‍රිකා මහත්මිය සමග එක්වෙමින්. නමුත් 2015 පිහිටුවාගත් යහපාලන රජයේ ජනපති ,  අගමැති සමග ගැටලු ඇති වුන ප්‍රශ්න ඇති වුන වසර දෙකක් හොඳට රට ඉදිරියට ගියා. ඉන්පසුව අවුල් සහගතතත්ත්වයක් ඇති වුණා. ආර්ථිකය හැසිරවීමට මුදල් ඇමතිතුමා හා ආර්ථික කටයුතු ඇමතිතුමා කටයුතු කලා. ණය අධික වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වුනා. නමුත් එවැනි තත්ත්වයක් යටතෙත් ගම්පෙරළිය වැනි ව්‍යාපෘති මගින් විශාල වැඩකොටසක් සිදුකලා."

"2015 බඩුමිලමයි අදත් තියෙන්නේ. මිල වැඩිවුණේ  නැහැ. ගැටලු ඇති වුණේ හවුල් ආණ්ඩුව නිසයි. අපි මෙවර තනි ආණ්ඩුවක් හදන්න ඕනෑ. එතකොට ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. අපි කල වැඩ ගැන ප්‍රචාරයක් කළේ  නැහැ. පලාලි ගුවන් තොටුපොළ  හදන්න වැය කළේ  ඩොලර් මිලියන 03යි. මත්තල ගුවන් තොටුපොළ  එදා ඩොලර් මිලියන 280ක් වැයකර තිබුණා. පලාලි ගුවන්තොටුපොළ  හදන්න මෙතරම් අඩු මුදලක් වැයවුයේ වංචා දුෂණ නැති නිසයි. අපි වංචා දුෂණ  නොකරන නිසයි. තව ටිකදිනකින් අභ්‍යන්තර  ගුවන් ගමන් ආරම්භ කරනවා.ලංගම දියුණු කිරිමේ වැඩපිළිවෙලත් ආරම්භ කොට තිබෙනවා. අලුතින් බඩරට 2000ක් ගෙවීමේ වැඩසටහන නිලධාරිවාදය නිසා ප්‍රමාද වුණා. ඉදිරියේදී  එය සාරථකව ක්‍රියාත්මක කරනවා."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Rate this item
(0 votes)