November 13, 2019

ජාතික නිවාස අධිකාරියේ මුදල් අවභාවිතය පිළිබඳ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ජාතික නිවාස අධිකාරියේ සභාපතිවරයා ඇතුළු ඉහළ කළමනාකාරිත්වය විසින් ජනාධිපතිවරණ අපේක්ෂක විෂය භාර අමාත්‍යවරයාට දේශපාලන වාසි ලබා දීමේ අරමුණින් මහජන මුදල් අවභාවිත කරමින් සිටින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට යොමු කිරීම සඳහා පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. එහි සඳහන් කරුණු මෙසේය.

  1. රටේ ජනතාවට වැසිකිළි පහසුකම් ලබා දීමේ ජාතික ව්‍යාපෘතියක් සඳහා 2019 ප්‍රතිපාදන යටතේ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 400ක මුදලක් පසුගිය මැයි මාසයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලැබිණි. එහෙත් මේ වන තෙක් එවැනි ව්‍යාපෘතියක් නිවාස අධිකාරිය විසින් ක්‍රියාත්මක කර නැත. එසේ තිබිය දී පසුගිය සතියේ සිට ඒ මුදල් වැය කරමින් පවතී. යෝජිත වැසිකිළි පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නැති තත්වයක් තුළ මෙසේ මුදල් වැය කරනු ලබන්නේ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යැයි බරපතළ සැකයක් තිබේ.

  1. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ ඇති 'සෙවණ අරමුදල' පිහිටුවන ලද්දේ දුගී දුප්පත් ජනතාවට නොමිලේ නිවාස ලබා දී‍ම පිණිස ය. එහෙත් නිවාස ණය ලබා දීම සඳහා මේ වන විට 'සෙවණ අරමුදලේ' මුදල් භාවිතයට ගැනීම අරඹා ඇත. පසුගිය ජනවාරි මාසයේ පළමු වාරිකය ලබා දුන් නිවාස ණයවල දෙවැනි වාරිකය ලබා දීම (භාණ්ඩාගාරයේ මුදල් ප්‍රතිපතිදන ලැබෙන තුරු) අත්හිටුවා තිබිණි. එසේ අත්හිටුවා තිබූ නිවාස ණයවල දෙවැනි වාරිකය ලබා දීම සඳහා 'සෙවණ අරමුදලේ' මුදල් නිදහස් කිරීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් ලිඛිත උපදෙස් ලබා නොදී, සභාපතිවරයා පෞද්ගලික ව අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලට යමින් මේ කටයුත්ත ඉටු කරමින් සිටී.

 

  1. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පසුගිය කාලයේ අලුතින් බඳවා ගන්නා ලද සේවකයන් අමාත්‍යවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ඇත. ඇමැතිවරයාගේ උපදෙස් පරිදි පිහිටුවන ලද 'ගැමි කමිටු' ඔස්සේ ඇමැතිවරයාගේ ප්‍රචාරක රැස්වීම් සඳහා සෙනඟ ගෙන්වා ගැනීම මේ සේවකයන්ට භාර දී තිබේ. නිවාස අධිකාරියේ රාජකාරි කටයුතුවල යෙදී සිටිය යුතු මේ සේවකයන් ඇමැතිවරයාගේ ඡන්ද ප්‍රචාරක වැඩවලට යොදා ගෙන සිටින බව හදිසි නිරීක්ෂණයක් කළ හොත් සනාථ කර ගත හැකි ය.

 

  1. මේ පිළිබඳ ව වහා ම ඔබගේ අවධානය යොමු කර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු කළමනාකාරිත්වය සිදු කරමින් සිටින මේ නීති විරෝධී කටයුතු නතර කිරීමට පියවර ගන්නා මෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික නිවාස අධිකාරිය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එහි සභාපති ධර්ම ශ්‍රී කාරියවසම් විසිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 October 2019 17:19