November 13, 2019

ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂ මස් රාත්තලම ඉල්ලයි - සජිත් අමාරුවේ

උතුරු පළාතේ දේශපාලන ක්‍රියාවලියේ නිරත ප්‍රධාන දේශපාලන පක්ෂ පහක එකඟතාවය මත ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා වෙනුවෙන් යෝජනා 13 කින් සමන්විත යෝජනාවලික් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඊයේ(14) සවස එකඟතාවය පළ කරනු ලැබීය.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම මත සිදුකළ සාකච්ජාවකින් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ මහජන පෙරමුණේ නායක සි.වි.විග්නේශ්වරන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා,ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා විසින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඉදිරිපත් කළ යෝජනාවලිය වෙනුවෙන් සාමුහික කැමැත්ත පළ කරමින් අදාළ යෝජනාවලිය වෙනුවෙන් අත්සන් කිරීම සිදු කෙරිණ.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා වෙත අදාළ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉදිරිපත් කරනු ලබන යෝජනාවලියේ කරුණු වෙනුවෙන් ලිඛිත එකඟතාවයක් මත ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ජන්දය ලබාදෙන පුද්ගලයා තීරණය කිරීමට නියමිත බව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.තිවාකරන් මහතා පවසයි.

සාකච්ජාව වෙනුවෙන් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ මහජන පෙරමුණේ නායක සි.වි.විග්නේශ්වරන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා,ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා හා දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා එක්වු අතර, දෙමළ මහජන සභාවේ නායක ග‍ජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පමණක් අදාළ යෝජනාවලිය වෙනුවෙන් ‍එකඟත්වය පළ කිරීම ප්‍රතික්ශේප කරනු ලැබීය.

දෙමළ ජනතාව මුළා කිරීමට නොහැකි බව පවසමින් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අදාළ යෝජනාවලිය වෙනුවෙන් කැමැත්ත පළ නො‍කළේය.

යෝජනාවලියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ.

01.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට උතුරු නැගෙනහිර වෙනුවෙන් ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම.

02.අවසන් යුධ සමයේ සිදුවු යුධ අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා යුධ අපරාධකරුවන් වෙනුවෙන් දඩුවම් ලබාදීම.

03.හදිසි නීතිය ඉවත් කිරීම.

04.දෙමළ දේශපාලන සිරකරුවන් සියළුදෙනා නිදහස් කිරීම.

05.අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම හා වැරදිකරුවන් වෙනුවෙන් දඩුවම් ලබාදීම.

06.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අයත් පෞද්ගලික හා ර‍‍ජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

07.උතුරු නැගෙනහිර ස්ථාපිතව පවතින සියළු සිංහල බෞද්ධ විහාරස්ථාන හා සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.
08.මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ රජය විසින් සිදුකරන ලබන උතුරු පළාතේ සිංහල ජනාවාසකරණය හා නැගෙනහිර පළාතේ සිංහල ජනාවාසකරණය නවතා දැමීම හා සිදුකොට ඇති ජනාවාස ඉවත් කිරීම.

09.වන්නි ප්‍රදේශය යටතේ ස්ථාපිත කොට ඇති සිංහල ජනාවාස ඉවත් කිරීම.

10.පුරාවිද්‍යා,වනජිවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට ගෙන ඇති දෙමළ ජනතාවගේ නිජ භුමිය වහාම අදාළ රජයේ ආයතන යටතින් නිදහස් කිරීම.

11. යුද්ධයෙන් පීඩාවට ලක්වු උතුරු නැගෙනහිර තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදීම හා උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියා දුරලීම.

12.උතුරු නැගෙනහිර පෞද්ගලික අංශයේ හා රජයේ රැකියා ලබාදිමේදී අදාළ අදාළ ප්‍රදේශයන්ගේ තරුණ තරුණියන්ට මුලිකත්වය ලබාදීම.

13.උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සිදුකිරීමේදී අදාළ ප්‍රදේශයන් නියෝජනය කරන මහජන නියෝජිතයින්ගේ කැමැත්ත ලබාගෙන අදාළ ප්‍රදේශයන් නියෝජනය කරන මහජන කමිටුවක් හරහා සිදුකිරීම. වන කරුණු වෙනුවෙන් උතුරේ දේශපාලන පක්ෂ එකඟතාවය පළ කොට ලේඛනයට අත්සන් කළ බවයි.

ඉදිරියේදී අදාළ යෝජනාවලිය ප්‍රධාන ජනාධිපතිධූර අපේකෂකයින් වෙත යොමුකොට ඔවුනගේ කැමැත්ත ලිඛිතව ලබා ගැනීමට නියමිත අතර ඒ හරහා උතුරු නැගෙනහිර ගැටළුව වෙනුවෙන් ස්ථිරසාර විසදුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)