April 06, 2020

සජිත් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභයට ඇරයුමක්

ප‍්‍රතිපත්ති සහ රටේ අනාගතය පිළිබඳව ගනු ලබන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්  එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඊයේ (07) පැවැසීය.

මඩ දේශපාලනයක් වෙනුවට දියුණු රටවල පැවැත්වෙන ආකාරයෙන් තම ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් රටේ කතිකාවක් ගොඩනැගිය යුතු බවත් රටේ ජනාධිපති වෙන්න යන පුද්ගලයාට එවැනි  කොන්දක් සහ හැකියාවක් තිබිය යුතු බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ කීය.

‘‘අපේ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රෙමදාස මහතා නාමයෝජනා භාරදුන්නා. එතුමා ගංගාරාම විහාරස්ථානයෙන් ආගමික කටයුතුවල නිරතවෙලා අනෙකුත් ආගමික කටයුතුවලත් නිරත වුණා. මේ සැරේ නාමයෝජනා දීපු අපේක්ෂකයන් අතර පන්සිල් ගන්න අපේක්ෂකයන්  සහ පන්සිල් රකින අපේක්ෂකයන් ඉන්නවා. අනෙක් අපේක්ෂකයන් එක්ක සන්සන්දනය කරද්දි අපේ අපේක්ෂකයා පන්සිල් රකින අපේක්ෂකයෙක්.  සමහර අය හඬ නගා පන්සිල් ගත්තට පන්සිල් රකින්නේ නැහැ. සජිත් පේ‍්‍රමදාස  මහතා පන්සිල් රකින් හොඳ සිංහල බෞද්ධයෙක්. එතුමාගේ වචනයක් දෙකක් අල්ලගෙන එතුමන්ට පහරදෙනවා.  මාධ්‍යවේදීන්  ඝාතනය කිරීම, සුදුවෑන්  වලින් පැහැරගෙන යාම, මාධ්‍ය ආයතන ගිනි තැබීම, හොරකම්, වංචා, දූෂණ සම්බන්ධයෙන් අනෙක් අපේක්ෂකයන්ට චෝදනා තියෙනවා. මේවගේ දරුණු චෝදනා එල්ල වෙලා තියෙන පාර්ශව අද කිසිම චෝදනාවක් නැති සජිත් පේ‍්‍රමදාස මහත්තයගේ වචනයක් අල්ලගෙන  කෑ ගහන දෙකයි පනහේ මට්ටමකට වැටිලා තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණයට මඩින් නැතුව ගොඩින් එන්න කියලා අපි මේ අයගෙන් ඉල්ලීමක් කරනවා.  ප‍්‍රතිපත්ති ගැන විවාදයක් තියෙනවා නම් අපි ඒ ගැන  විවාද කරමු. දැන්  දින කිහිපයකට කලින් ජනාධිපති අපේක්ෂකයින්ට විවාදයකට ආරාධනා කළා. සජිත් පේ‍්‍රමදාස  මහතා ඊට සහභාගී වුනා."

"නමුත් පොහොට්ටුවේ අපේක්ෂකයා  විවාදයක් ළඟින් ගියෙත් නැහැ. අපි  මේ අවස්ථාවේදීත් පොහොට්ටුවේ අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේ අපේක්ෂකයා සමග විවාදයකට ආරාධනා කරනවා.   ඕනම අවස්ථාවක, ඕනෑම  තැනක සියලුම මාධ්‍ය ආයතනවලට ආරාධනා කරලා අපි විවාදයක් කරමු. මේ රටේ ජනාධිපති වෙන්න යන පුද්ගලයාට එහෙම කොන්දක් හැකියාවක් තියෙන්න  ඕන. දියුණු රටවල මෙවැනි විවාද දෙක තුනක් යනවා. අපි එවැනි දියුණු ලක්ෂණ අනුගමනය කළ  යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතා  අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ. එතුමා කරපු තරම් දේවල්  ඔය ආගම දහම ගැන කරපු දේවල් ඔය කයිවාරු ගහන කවුරුවත් කරලා නැහැ. දළදා වහන්සේගේ සහ මහනාහිමිවරුන්ගේ ආශිර්වාදයෙන් ආරම්භ කරන මේ මැතිවරණ ව්‍යාපාරය සඳහා   රට පුරා ජනරැලි 151ක් අපි සංවිධානය කරනවා. සජිත් පේ‍්‍රමදාස මහතා  හොඳ ජවයක් සහිත නායකයෙක්.  එතුමාට වයස  52 යි. තව අවුරුදු 10ක් කිසි ගැටලුවක් නැතුව වැඩ කරන්න එතුමන්ට පුලුවන්.  මොන අවලාද එල්ල කළත් නොසැලී ඉදිරියට යන්න ශක්තිය එතුමන්ට තියෙනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

Rate this item
(0 votes)