November 13, 2019

අපේක්ෂකයා ඉක්මණින් නම් කරන්නැයි ඉල්ලා සජිත්ගෙන් අගමැතිට ලිපියක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ඉල්ලා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලිඛිතව දැනුම් දුන් බව එජාප නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
 
ජනාධිපති අපේක්ෂකවරයා නම් කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි බවත්, එම ප්‍රමාදය රටට හා පක්ෂයට සිදු කරන හානියක් සේම,  ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 
  
සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නම් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම කඩිනමින් රැස්කර ඔවුන්ගෙන් විමසා තීරණය කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

කුමන ගැටළු පැමිණියත් එ.ජා.ප ය ජයග්‍රහණය කරවීමේ මෙහෙයුමට තමන් නායකත්වය ලබා දීමට සුදානම් බවත්, ඉතාම ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් අප ඊට සුදානම් විය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

 

Rate this item
(0 votes)