September 16, 2019

සුද්දෝ ඇති කරපු මාර්ග පද්ධතියට පස්සේ අපි තමයි අලුතින් මාර්ග හැදුවේ - අගමැති

19 වන ශත වර්ෂයේ ඇරඹූ බ්‍රිතාන්‍ය ආර්ථික ක්‍රමය තුළ තවදුරටත් සිරවී සිටිය නොහැකි බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලූත් ආර්ථිකයක් වෙත රට යොමු කළ යුතු බව පවසයි.

විශාල ණය බරක් සහිත සහ අපනයනය කඩා වැටුණු රටක් තම ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූ බව ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියලූ අභියෝගවලට මුහුණදෙමින් කතාව වෙනුවට සීඝ්‍රයෙන් වැඩ කරන යුගයක් ඇරඹූ බව සිහිපත් කළේය. 

කොළඹ මහනගරය, මාර්ග පද්ධතිය හා වරාය දියුණු කිරීම මඟින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කැපවී ක්‍රියා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

අගමැතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (10) කොළඹ වරාය පරිශ්‍රයේ දී, වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. 

චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්රාක්ෂන් සමාගම හා මාර්ග සංවර්ධන අධිකාරිය අතර අදාළ ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා චීන තානාපති චෙං ක්ෂුආං (H.E.Chang Xueyuan) යන මහත්වරුන්ගේ ඉදිරියේ සිදු කරනු ලැබීය.

19 වන සියවසේ සුද්දන් විසින් ඇති කරනු ලැබු මාර්ග පද්ධතියට පසුව තම ආණ්ඩුව විසින් පමණක් නව මාර්ග බිහි කළ බවත් පැවසු අගමැතිවරයා, ඉන්දියන් සාගරයේ ලස්සනම නගරය බවට කොළඹ පත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ පැවසීය.

“ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව ඇති චෝදනාව වැඩ නොකිරීම නොවේ. චෝදනාව වන්නේ සීඝ්‍රයෙන් වැඩ කිරීම හා ඒ පිළිබඳව කතා නොකිරීමයි. අපි අලූත් නගරයක් ගොඩනගා තිබෙනවා. අපි එය සිදු කළේ රටේ ආර්ථික ප්‍රශ්න ඇති අවස්ථාවකයි. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකර ඒවායේ ණය ගෙවීමට අපට සිදුව තිබූ අවස්ථාවකයි. මේ අභියෝග මධ්‍යයේ අපි උත්සාහ දරන්නේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩසටහන් ඉදිරියට ගෙන යාමටයි. අලූත් කොළඹ නගරයක්, අලූත් මාර්ග පද්ධතියක් අපි ඇති කර තිබෙන්නේ අලූත් ආර්ථිකයක් සමඟයි.  බ්‍රිතාන්‍යයන් 19 වන ශත වර්ෂයේ ඇති කළ ආර්ථිකයෙන් අපට තවදුරටත් ජීවත් වන්නට බැහැ. අපගේ බලාපොරොත්තුව රටක් ලෙස ඉදිරියට යාමටයි. "

එහිදී අදහස් දැක්වූ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසූයේ 1990 දී සිටම කොළඹ මාර්ග පද්ධතිය විධිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ අවශ්‍යතාවය වර්තමානයේ දී ඒ මහතාගේ උපදෙස් පරිදි යථාර්තයක් බවට පත්වෙමින් තිබෙන බවයි. 

කොළඹ නගර සීමාව තුළ සිදුවන විශාල පරිවර්තනයට අගමැතිවරයාට ගෞරවය හා ස්තූතිය හිමි විය යුතු බව ද කබීර් හෂීම් මහතා පැවසීය. 

නාගරික සංවර්ධනය පමණක් නොව, ග්‍රාමීය සංවර්ධන කටයුතු ද අගමැතිවරයා ලබාදුන් උපදෙස් පරිදි ඉතා වේගයෙන් වත්මන් ආණ්ඩුව සිදු කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Rate this item
(0 votes)
DLB Desktop