September 16, 2019

තාත්තායි පුතායි වගේ හිටියා නම් දැන් ප්‍රශ්නේ විසඳිලා - චන්ද්‍රසේන

වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ආරවුල ඉතා බරපතළ තත්ත්වයට පත්වෙලා තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යරයා තාත්තා පුතා සේ ප්‍රශ්නය විසඳා ගනියි යැයි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවසු බවත් චන්ද්‍රසේන මන්ත්‍රිවරයා එහිදි පැවසීය.

එලෙස ප්‍රශ්නය විසඳා ගත්තේ නම් මේ වන විට ප්‍රශ්න විසඳගෙන අපේක්ෂකයා ජනතාවට ඉදිරිපත් කර අවසන් බවත් මන්ත්‍රීවරයා පවසයි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා,

"මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා ශිල්ප දක්වනවා. මම දැක්කා ඊයේ යාපනය කියලා ෆුට් බෝල් ගහනවා. ජනාධිපති අපේක්ෂක කම  ගන්න සජිත් ප්‍රේමදාස ශිල්ප දක්වමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ එදා අරලියගහ මන්දිරය ඇරලා යන්නෙ නෑ කිව්වා වගේ අදත් ජේෂ්ඨයෝ ළඟ තියාගෙන එක එක ප්‍රකාශ සිදුකරමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරු වුනත් අපිට ප්‍රශ්නයක් නැහැ. රනිල් වික්‍රමසිංහ ආවත් කරු ජයසූරිය කථානායක වරයා ආවත් මේ රට විනාශ කරපු පිරිස තමයි මේ අය. කැලේ මාරු කරාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා අපි කියනවා. මේ අය වැරදි පූර්වාදර්ශයක් රටට ලබා දෙමින් සිටිනවා. ජනාධිපතිවරණ ඉතිහාසය ගත්තහම ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ ඉදිරිපත් කිරීමේදී ඉතිහාසයේ කවදාවත් කිසිම පක්ෂයක් මෙවැනි තත්ත්වයකට පත්වෙලා නැහැ. ඒ වගේම අපි කියන්න කැමතියි ගෝඨාභය රාජපක්ෂ අපේ අපේක්ෂක වරයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒකාබද්ධ විපක්ෂයේ ඒකමතික තීරණය ලැබී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමතිස්සෙම කියනවා වගේ ලිච්ඡවී ක්‍රමයට කිසිම ප්‍රශ්නයක් නැතුව අපි අපේ අපේක්ෂකයා තෝරා ගත්තා. මුලින් කිව්වා පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවා කියලා. ඊළඟට කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පවුලේ අයගෙන් ප්‍රශ්න තියෙනවා කියලා."

"ඊළඟට බැලූවා අධිකරණය භාවිතා කරලා  නඩු දාලා හිර කරලා එතුමාව වලක්වන්න. දැන් හම්බන්තොට ගිහිල්ලා  සී අයි ඩී එකෙන් හොයනව 2005 ඡන්ද දැම්මද ඡන්ද නාම ලේඛනය එතුමාගේ නම තියෙනවද පාස්පෝට් එක තියෙනවද වගේ දේවල්. මේගොල්ලන්ට ඇතිවෙලා තියෙන්නේ ගෝඨාභය කියන එකයි. ගිය මාසෙ එකොළොස් වැනිදා අපි අපේක්ෂක හැටියට ගෝඨාභය  රාජපක්ෂ මහතාව නම් කරලා  හෙට වෙනකොට හරියටම මාසයක් ගත වෙනවා.රුවන්වැලි සෑයෙන් ශ්‍රී මහා බෝධියෙන් ආරම්භ කරපු ඡන්ද ව්‍යාපාරය  සියලූ මැතිවරණ ප්‍රචාරක කටයුතු අපි සිදුකරගෙන යනවා. ඡන්ද ව්‍යාපාරයෙන් 75% ක් අපි ඉවර කරලා තියෙනවා කියලා මම සතුටින් කියන්න කැමතියි.හැබැයි එජාපය තාම ඉන්නේ 0 කියන තැනයි.යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරලා සාමය ඇති කරන්න අපේ ආණ්ඩුව කාලයේ අපි වැඩ කළා.වාරිමාර්ග ටික ඉදිකලා ජලාශය ඉදිකරලා පාරවල්  හදලා කාණු පවා ඉදිකළා.මිනිස්සුන්ට තුන්වේල කන්න පුළුවන් තත්වෙට රට පත් කරා.එදා හදපු කේක් ගෙඩිය කපා ගෙන කන්න විතරයි තිබුණේ. අද ජනතාවට ඒකත් නැතිවෙලා. අදින් පස්සේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සම්පූර්ණ බලය එනවා මැතිවරණයේ පැවැත්වීම සඳහා කටයුතු කිරීමට. දැන් තිබෙන හොඳම දේ තමයි පුළුවන් තරම් ඉක්මනින් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම."

Rate this item
(0 votes)