September 16, 2019

ගිය ආණ්ඩුව ව්‍යාපෘතිවලට මුල් ගල් තිබ්බාට මුදල් වෙන් කර තිබුණේ නෑ - අකිල

අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ මේ දක්වා සිදු කළ දැවැන්ත ම මූල්‍ය ආයෝජනය සිදුකරමින් විශාල ව්‍යාපෘති සමූහයක් රටේ පාසල් පද්ධතියට දායාද කරන්නට හැකි වූයේ, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අගමැතිතුමන්ගෙන් ලැබුණු සහයෝගය හා මඟපෙන්වීම නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවල විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබීම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත් ඒ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපනයේ මෑතකාලීන ව ක්‍රියාවට නංවන ලද විප්ලවීය අධ්‍යාපන ක්‍රියාමාර්ග අතර තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර  යටතේ එකම දිනක නව පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කහතුඩුව, වෙනිවැල්කොළ ‘ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය’ පිළිබද ජාතික ආයතනයේ දී මෙම උත්සවය පැවැත්විණි. 

දිවයින පුරා එකම දිනක පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්වන අද දවසේ ඒ හා සමගාමී ව ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය  සිසු අයිතියට පත්කිරීම ද අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.

අධ්‍යාපනය වෙනුවෙන් විශාලතම මූල්‍ය ආයෝජනය සිදු කර ඇත්තේ වත්මන් රජය විසින් බව දේශපාලන පක්ෂ භේදයකින් තොරව සඳහන් කළ හැකි බවත්, එහි දී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10%ක ප්‍රතිශතයක් නියෝජනය කරන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රජය සුවිශේෂ මැදිහත්වීමක් සිදුකරන ලද  බවත්, අද සිසු අයිතියට පත් කෙරෙන ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය  එහි තවත් සාර්ථක  ප්‍රතිඵලයක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)