November 21, 2019

අපිට කලින් විනය පරීක්ෂණ කරන්න ඕනෙ සභාපතිටයි ලේකම්ටයි - ෆවුසි Featured

ශ්‍රීලනිපයේ විනය කැඩූ සාමාජිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන්නේ නම් පළමුව විනය පරීක්ෂණ පැවැත්විය යුත්තේ පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ මහ ලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතාට එරෙහිව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි.
 
ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ ෆවුසි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
 
තමන් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨතම උප සභාපතිවරයා ලෙස සිටියදී තමන් දැරූ මැද කොළඹ සංවිධායක ධුරය අහිමි කිරීමට පක්ෂය කටයුතු කළ බවත් එවැනි අසාධාරණකම් සිදුවෙද්දී තවදුරටත් පක්ෂය සමග සිටිය හැකිද යන්න ගැටලුවක් බවත් ඔහු පවසනවා. ඒ අනුව මේ දිනවල පක්ෂයෙන් මදක් ඈත්ව සිටින නමුත්, විනය පරීක්ෂණ පවත්වන්නේ නම් තමාට පෙර පක්ෂයේ විනය කැඩූ විශාල පිරිසකට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
 
විනය පරීක්ෂණයක් සම්බන්ධයෙන් මෙතෙක් තමා දැනුවත් කර නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා සහ ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති අතර විනය පරීක්ෂණ මගහරින පුද්ගලයන්ගේ මන්ත්‍රී තනතුරු අහෝසි කිරීමට ද ශ්‍රීලනිපය තීරණය කර ඇති බව වාර්තා වේ.
Rate this item
(0 votes)