September 20, 2019

"පක්ෂයේ අනාගතය තහවුරු කරන්න නම් පොහොට්ටුව-සන්ධානය එක්විය යුතුයි"

පක්ෂයේ අනාගතය තහවුරු කිරීමටත් ගිලිහෙන පාක්ෂිකයන් එකමුතු කරගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා කොළඹදී ඊයේ (22) පැවැසීය.

රාජපක්ෂවරු කිසිවකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වීමට ඉඩ නොතබන බව ද දිසානායක මහතා එහිදි කීය.

රටේ ප්‍රගතිශීලි වමේ ව්‍යාපාරය, දේශප්‍රේමී ප්‍රජාව, එක්සත් ජාතික පක්ෂ විරෝධී අධිරාජ්‍ය විරෝධී ප්‍රජාවගේ නායකයා මහින්ද රාපජක්ෂ මහතා බවත් ජනතාව ඉල්ලන නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එම සත්‍ය තේරුම් ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.

බත්තරමුල්ල ඒ මහතාගේ නිවසේ පිහිටි මාධ්‍ය හමුවකදී එම කරුණු සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා මෙසේ ද පැවැසීය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන සමුළුවට ගිය නිසා අපට අපේ පක්ෂයේ ඇතැම් අය අවලාද නැගුවා. ඊයේ ගෝඨාභය රාජපක්ෂ මහතා භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. අපට අවලාද නගපු අයත් ඒ භෝජන සංග්‍රහයට ආවා. එයින් එක් දෙයක් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පක්ෂය ගෝඨභය රාජපක්ෂ මහතාට අනුමැතිය දී ඇති බව එයින් පෙනී යනවා. පක්ෂයේ කිහිපදෙනකු එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. එහෙත් අපි එදා ඉඳන්ම එක්සත් ජාතික පක්ෂ විරෝධී පක්ෂයක්. අපි වමේ ව්‍යාපාරයක්. ප්‍රගතිශීලී සහ දේශප්‍රේමී පෙරමුණ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟයි. එහෙත් ඔවුන් සියලු දෙනා නිදහස් පක්ෂයෙන් ගිලිහුණා. ඔවුන් අපෙන් ගිලිහෙමින් තිබෙනවා. ඒ සත්‍යය තේරුම් ගන්න ඕනේ. අපි එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩු හැදීම තමයි එයට හේතුව වුණේ."

"අපේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඒ බව නිරන්තරයෙන් කියනවා. අපි එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වුණාට අපේ පාක්ෂිකයෝ ඊට කැමැති වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එක්ක ආණ්ඩුව හැදුවාම අපේ පක්ෂයේම අය විකල්පයක් හෙව්වා. එහෙම තමයි පොදුජන පෙරමුණ හැදුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසක්. අද වමේ ව්‍යාපාරය, ප්‍රගතිශීලි සහ දේශප්‍රේමී ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව සිටිනවා. පක්ෂයේ සහාය හිමිවෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය හිමිවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. ප්‍රගතිශීලි වමේ ව්‍යාපාරයේ නායකයා බවට පත්ව සිටින්නේ මහින්ද රාජපක්ෂයි. ජනතාවගේ ඉල්ලීම වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂයි. මේ ව්‍යාපාරයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මේ සත්‍ය අපි තේරුම් ගන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමාද වෙලා හරි එය තේරුම් අරගෙන තිබෙනවා.”

Rate this item
(0 votes)
DLB Desktop