September 20, 2019

"කොළඹ සිංගප්පූරුව වගේ ලෝකයේ අලංකාර නගරයක් කරනවා"

අවුරුදු පනහක් හැටක් කිසිදු සැලැස්මක් නැතුව ගොඩනැගුන කොළඹ නගරය සිංගප්පූරුව වගේ ලෝකයේ අළංකාර  නගරයක් බවට පරිවර්තනය කරමින්  ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා පැවසීය.

ඊළඟ  අවුරුදු පහේදී  විශාල, අලංකාර නගරයකට පහසුකම් ලබාදී දේශීය සහ  විදේශීය ආයෝජනයක් රටට ලබාගැනීම වෙනුවෙන් මේ සියල්ලක්ම සිදු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මේ බව පැවසුවේ බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භක උත්සවයට අද (22) එක් වෙමිනි.

එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බෝට්ටු අංගනය විවෘත කිරීමෙන් පසු ප‍්‍රථම ගමන් වාරයට එක්වීම විශේෂත්වයකි.

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක වේ.

කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැක.

මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බවත් මහානගර හා  බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියළු ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මෙසේද කීය.

‘‘අද අපි දක්න්නේ අළංකාර කොළඹක්. සිංගප්පූරුව වගේ ලෝකයේ අළංකාර  නගරයක් බවට කොළඹ පරිවර්ථනය ඇති කරමින්  තිබෙනවා. මේ නගරය අවුරුදු පනහක්  හැටක් කිසිම සැළැස්මක් නැතුව සංවර්ධනයක් ඇතිවුණා. අපි කුඩා කාළයේදී බේරේ වැව කියන්නේ ඉතා අලංකාර  ප‍්‍රදේශයක්. ඒ සියල්ලම නැති වුනා.  ඒත් ගිය අවුරුදු හතරේදී මහානගර හා  බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ගත් ක‍්‍රියාමාර්ග නිසා  අවුරුදු පනහකින්  හැටකින් කරන්න බැරිවුන වැඩකටයුතු  අද මෙතනදි  සිදුවෙනවා කයලා මම කියන්න කැමතියි. මේ බෝට්ටු දෙකෙන් පළමුවෙනි බෝට්ටු සේවය මේ ප‍්‍රදේශවල  ආරම්භ වුණා. දැන් ගමනා ගමන පහසුකම් තියෙනවා. අලංකාර නගරයක් තියෙනවා.  අළංකාර නගරයක් පමනක් නෙමෙයි නවීන නගරයක් ඉදිවෙනවා. වාණිජ ගොඩනැගිලි, නිවාස, මිශ‍්‍ර කාර්යයන් තියෙන ගොඩනැගිලි ඒ සියල්ලක්ම මෙතනට එනවා. මෙතන සිදුවෙන්නේ විශාල අලංකාර ගොඩනැගිල්ලක් ඇති කිරීමයි. අපි ක‍්‍රියා කරන්නේ  ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරිමටයි. ඒ කේන්ද්‍රස්ථානයේ කේන්ද්‍රය වෙන්නේ  මේ වටේම තියෙන මේ මහා නගරයයි. ඒ නගරයේ තමයි දැන් සැලසුම් කරන්නේ. ඒ නගරය සම්බන්ධ වෙන්නේ එක අධිවේගී  මාර්ගයක් තියෙනවා නුවරට. අනික තියෙනවා හම්බන්තොටට. ඒත් මේ ප‍්‍රධාන නගරය මෙතන බිහිවෙනවා. මෙහෙම  නගරයක් බිහි කරද්දි දුෂ්කරම  කාර්යය එහි ආරම්භය ඇති කිරිමයි."

"අඩු ආදායම් ලාභීන්ට තට්ටු නිවාස හදාගෙන යනවා. මේ සමග  අනිත් සංස්ථා, අනිත් අමාත්‍යාංශ එකතු වෙලා විශාල දියුණුවක්  ඇති කරනවා. අපි බලන්නේ ආපහු  දකුණු ආසියාවේ හොඳම නගරය, අළංකාරම  නගරය කොළඹ බවට පත් කරන්නයි. ඒ වගේම  ඉන්දියන්  සාගරයේ මහා නගරය කොළඹ  බවට  පත්කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. මේ සියල්ලම කරන්නේ ඊළඟ  අවුරුදු පහේදී  මෙහෙම විශාල අලංකාර නගරයකට පහසුකම් ලබා දීලා දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් විශාල ආයෝජනයක්  මේ රටට ලබා දෙන්නයි. අපි අපනයන ආර්ථිකයක් මේ රටේ ඇති කළ යුතුයි. අපි ණය  ගත්තා වගේ දැන්  සම්පුර්ණයෙන්ම මුල් මුදල ආපහු ගෙවන්න  ඕනෑ. අපි දියුණු රටක් විදියට යනවානම් අපිට හැමදාම ණය ගන්න බැහැ. හිඟා කන්න බැහැ. අන්න ඒ තත්වයට යන්න අපිට ආත්ම ගෞරවයක් ඇති කරගන්න තමයි  අපි ක‍්‍රියා කරගෙන යන්නේ. ඒ සඳහා මේ මහා නගරයට  වැදගත් ක‍්‍රියාවලියක්  තිබෙන බව ප‍්‍රකාශ කරමින් ඇමැතිතුමාටත් අමාත්‍යාංශයටත්, නාවික හමුදාවටත් මම ස්තූති කරනවා’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.

Rate this item
(0 votes)