September 20, 2019

ගෝඨාව අල්ලන්න පොර කරන්න එපා - ගම්මන්පිල Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීම වැලැක්විය හැක්කේ එතුමා ඝාතනය කිරීමෙන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ වන විට ගෝඨාභය මහතා රටේ ජනාධිපති කර ගැනීමට ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව සමස්ත ජාතියේ ම සිහිනය බවට පත්ව ඇතැයි ද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය.

එය රටේ බහුතර ජනතාව දැනටමත් තීරණය කර ඇතැයි ද පැවසු ඒ මහතා, ජනාධිපතිවරණයේ දී වැඩි වශයෙන් අවධානය ලක් විය යුත්තේ ගෝඨාභය මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බවද පෙන්වා දුන්නේය.

සමස්ත ජාතිය විසින්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයිය යුතු බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ජනතාව විසින් ගෝඨාභය මහතාට ආරක්ෂාව සැපයිය හැක්කේ කෙසේ ද යන්න ප්‍රශ්න කරමින් ගම්මන්පිල මහතා පවසා සිටියේ, ගෝඨාභය මහතා ළඟට යන්න, අල්ලන්න හෝ එතුමා සමඟ ඡායාරූප ගැනීමට පොර කෑමෙන් වලකින ලෙසයි.

අඳුර වැටෙන තෙක් ගෝඨාභය මහතා රැස්වීම්වල තියා නොගන්නා ලෙසත් ගම්මන්පිල මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

සෑම තැනකම සෑම කෙනෙකුම විමසිලිමත්වන ලෙසත් පැවසු ඔහු ගෝඨාභයලා දෙන්නෙක් නොමැති බැවින් ගෝඨාභය මහතා රැක ගත යුතු යැයි ද කියා සිටියේය.

Rate this item
(0 votes)