August 25, 2019

ගෝඨාභයට දඹුලු ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්

අනුරාධපුර රුවන්වැලිසෑය සහ අටමස්ථාන වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා   මහනුවර බලා යන අතරේදී දඹුල්ල නගරයේදී ජනතාවගේ උණුසුම් පිළිගැනීමකට ලක්විය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.

දඹුල්ල අනුරාධපුර පාර බුලාගල මංසන්ධියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබූහ.

පසුව රථ පෙළපාලියකින් දඹුල්ල ඔරලෝසු කණුව ඉදිරිපිට බුදු පිළිම වහන්සේ අසලට පැමිණෙද්දී නගරය ජනතාවගෙන් පිරී ඉතිරී තිබිණි. විශාල ජනතාවක් එක් රොක් වෙමින් ජයඝෝෂා ප්‍රීතිඝෝෂා නගන්නට වූහ. ජනතාව අතරින් වාහනයෙන්ම බුදු පිලිමය අසලටම ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා ගෙන ඒමට ආරක්ෂක නිලධාරීන්ට සිදුවිය.

පැමිණ සිටි ජනතාවට දෑත් ඔසවා   ආචාර කිරීමෙන් අනතුරුව එම ස්ථානයට රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නය වැඩම කොට සිටියහ.

 මල් වට්ටියක් ලබාදීමෙන් පසුව බුදුරජාණන් වහන්සේට මල් පූජා කොට මහා සංඝරත්නය පිරිසට සෙත් පිරිත් සජ්ඣායනා කළහ.

පිරිත් නූල් ගැට ගැසීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයට වැඳ නමස්කාර කොට නැවත වරක් දඹුල්ල නගර මධ්‍යයේ කුරුණෑගල පාර ප්‍රදේශයට වන්නට රැස්ව සිටි විශාල ජනතාවට සිය ආචාරය කරනු ලැබීය.

පසුව ජනතාවගේ ජය ඝෝෂා මධ්‍යයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසට පිටත්ව ගියහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි සහ සී.බී.රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 August 2019 18:51