August 25, 2019

"මොන රාජපක්ෂත් සිංහල බෞද්ධ ජාතිවාදී පසුබිමක් මත කටයුතු කරන කට්ටිය" Featured

ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි පුද්ගලයෙකු ජනාධිපතිවරයා බවට පත් වූවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට කිසිම විසදුමක් නොලැබෙන නිසා ඔහුට දෙමළ ජනතාවගේ සහය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස නොකරණ බව  වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් මහතා පැවසීය.

වවුනියාවේදී මාධ්‍යවේදින්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ කවර සහෝදරයෙකු පැමිණියත් ඔවුන් සියලුම දෙනා සිංහල බෞද්ධ ජාතිවාදී පසුබිමක් මත කටයුතු කරණ බවයි.

දෙමළ ජනතාවගේ හා මුස්ලිම් ජනතාවගේ ඡන්දයකින් තොරව මේ රටේ කිසිම අයෙකුට ජනාධිපතිවරයා වීමට හැකියාවක් නොමැති නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසි දිනක මේ රටේ ජනාධිපතිවරයා විය නොහැකි බවද ඔහු මෙහිදී සදහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවේ නිලධාරියෙකු නිසාත් ඔහු මේ රටේ ඝාතන රැසකටම සම්බන්ධ  බවට තොරතුරු ඇති නිසාත් සිංහල ජනතාව අතරද ඔහුට එතරම් ප්‍රසාදයක් ඇතැයි සිතිය නොහැකි බව ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා පැවසීය.

ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානය නියෝජනය කරණ මන්ත්‍රීවරයෙකු වන අතර එම පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වී තිබියදී වන්නි දිස්ත්‍රික්කයෙන් තරග කොට ජයග්‍රහණය කල මන්ත්‍රීවරයෙකි.

ඔහු මේ වන විට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරණු ලබයි.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)