August 04, 2020

"පාස්කු ඉරිදා ප්‍රහාරය මා දැනගත්තෙත් වෙබ් එකෙන්"

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සමහරුන් හුවමාරු කරගෙන තිබූ බුද්ධි තොරතුරු තමාට දැනගන්නට ලැබුණේ ඒ ප්‍රහාරයෙන් පසුව විවිධ සමාජ මාධ්‍යවලින් යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (31) පැවැසීය.

එවැනි වටිනා තොරතුරක් යුද හමුදාපතිවරයා හැටියට තමාට නොදැන්වීම ගැන කනගාටුවන බව කී සේනානායක මහතා එම තොරතුරු ලැබුණා නම් ස්ථිරයෙන්ම තමා ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.

මේ කාරණය සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ බවත් තමා පමණක් නොව යුද හමුදාවේ වෙනත් කිසිදු නිලධාරියෙකු හෝ ඒ තොරතුරු ගැන දැනුම්වත්ව නොසිටි බව ඉන් තහවුරු වූ බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

ආරක්ෂක මණ්ඩලයේ දී කතා කළ යුතු සමහර දේවල් එම මණ්ඩලයේ රැස්වීම්වලට පිටස්තර අය පැමිණීම නිසා කතා කිරීමට නොහැකිවුණු බව කී යුද හමුදාපතිවරයා සමහර කරුණු තමා කථා කළේ ඒ පිටස්තර අය පිටව ගියාට පසුව බවද සඳහන් කළේය.

ආරක්ෂක මණ්ඩල රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගිවීම අවශ්‍ය නොවන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන්නේ රාජ්‍ය නොවන බවත් ඔහු කියා සිටියේය.

ජාතික බුද්ධි ප්‍රධානියාට නිශ්චිත බලයක් නොතිබූ බව කී යුද හමුදාපතිවරයා ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය හා යුද හමුදාව අතර පසුගිය කාලයේදී පැහැදිලි අවිශ්වාසයක් ගොඩනැගී තිබූ බවද ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)