April 06, 2020

"වැසිකිළියට යන්නත් ඇමතිකම ඕනේ පිරිසක් සිටිනවා" - විදුර

අන්තවාදීන්ට සහ දූෂිතයන්ට සහය දෙන්නන් සඳහා ඉදිරි මැතිවරණයේදී  පාර්ලිමේන්තුව සහ ජනාධිපති ධුරය යොදාගැනීමට තවදුරටත් ඉඩ නොදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එපා කියලා තනතුරු දාලා ගිය පිරිස නැවත වතාවක් දිවුරුම් දීමේ සුදානම් පවතින බව ද සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, ඔවුන්ට ඇමතිකම් නැතුව නින්ද නොයන බවද පැවසීය.

වැසිකිලියට යෑම සඳහාත් එම පිරිසට ඇමති ධූරය අවශ්‍ය බව පැවසු මන්ත්‍රීවරයා, මොන තරම් පහළ තත්ත්වයකට අපේ රටේ මිනිසුන් වැටී ඇත්දැයි ප්‍රශ්න කර සිටියේය.

අන්තවාදයට පාවඩ එළීමට ආණ්ඩුව නැවත වතාවක් සුදානම් වන බවද පැවසු මන්ත්‍රීවරයා, ඡන්ද ගැනීමේ අරමුණින් මේ බව සිදු කරන බවද පැවසීය.

2015 ජනවාරී 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉන්නේ හොරු බව පවසමින් වෙනසක් ඇති කළ බවද පැවසු මන්ත්‍රීවරයා, පෙබරවාරී 28 වන දින වෙන විට මහ බැංකුව බිඳ දමා හිටිය හොරු වෙනුවට පට්ට හොරු ටිකක් පැමිණි බවද කියා සිටියේය.

කෙසේ වෙතත් නැවතවතාවක් හොරුන්ට පැමිණීමට ඉඩ දිය නොහැකි බවද පැවසු මන්ත්‍රීවරයා, අන්තවාදීන්ට පාවඩ එලන්න, උඩුවියන් බැදීමට නැවත ඉඩක් නැති බවද සඳහන් කළේය.

ඒ සඳහා පාර්ලිමේන්තුව භාවිතා නොකරන ලෙසත් පැවසු විදුර වික්‍රමනායක මහතා, ලබන මැතිවරණයෙන් කවුරු කොහොම කිව්වත් මහින්ද රාජපක්ෂ මහතාගේ පිල ජයග්‍රහණය කරන බවද පැවසීය. 

Rate this item
(0 votes)