August 25, 2019

"මහින්දට බැරිවුණ වැඩේ එයාගේ මල්ලිට කරන්න බෑ"

අධිකරණමය ක්‍රියාමාර්ගයකින් හෝ වෙනත් කිසිදු අයුරකින් ජනාධිපතිවරණය කල්දැමීමට ඉඩ නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි විකල්ප අපේක්ෂකයෙකු මෙවර ඉදිරිපත් කරන බවයි. 

වත්මන් ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරණයක් කල් දැමිය නොහැකි බව ද කියා සිටි මන්ත්‍රීවරයා මේ වසරේ දෙසැම්බර් මස 8 වන දිනට පෙර නව ජනාධිපතිවරයෙක් පත්ව සිටිය යුතු බව ද කියා සිටියේය.

ඒ අනුව නොවැම්බර් මස 23 වන දින ජනාධිපතිවරණය පැවැත් වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි පැවසු නලින්ද ජයතිස්ස මහතා, ජනාධිපතිවරණය කල් දැමීමට වත්මන් ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් ව්‍යවස්ථාවෙන් හිමිව නැති බව ද පැවසීය.

ජනාධිපතිවරණය ජයගත හැකි විකල්ප පෙරමුණක අපේක්ෂකයෙක් බොහෝ විට ඉදිරිපත් විය හැකි බව ද සඳහන් කර සිටි ජයතිස්ස මහතා, එක්සත් ජාතික පක්ෂය අතර හා පොහොට්ටුවේ මේ වන විට ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ විශාල මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද පැවසීය‍.

මහින්ද රාජපක්ෂ මහතාට බැරිවුණ වැඩේ ඔහුගේ සහෝදරයෙකුට කල නොහැකි බව ද පැවසු මන්ත්‍රීවරයා, ජේ.ආර්.ජයවර්ධන මහතාට කල නොහැකි වු වැඩේ ඔහුගේ බෑනාට සිදු කළ නොහැකි නම්, ප්‍රේමදාස මහතාගේ පුතා පැමිණියාට කල නොහැකි බව ද කියා සිටියේය.

එක එක නායකයින් පැමිණියහොත් ඔවුන් ජයග්‍රහණය කළ නමුත් රට වලපල්ලට යන බව ද පැවසු නලින්ද ජයතිස්ස මහතා අපට අවශ්‍ය වන්නේ රට දිනවිය හැකි අපේක්ෂකයෙක් බව ද සඳහන් කළේය.

Rate this item
(1 Vote)