August 25, 2019

ඉරාජ්ට විරුද්ධව රංජන්ගෙන් පැමිණිල්ලක් Featured

තමන් සිදුකළ ප්‍රකාශයක් විකෘති කර සමාජ ජාලා හරහා පළකිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ ගායක ඉරාජ් වීරරත්න විසින් තමා සමාජ මාධ්‍යකට පළ කළ අදහස් විකෘති කරමින් සංස්කරණය කර සමාජ ජාල වෙත මුදා හැර ඇති බවට චෝදනා කරමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදි රාවනා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු පිරිසක්ද පොලිසියට පැමිණ තිබුණි.

එහිදි දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රංජන් රාමානායක මහතා භික්ෂූන් වහන්සේට අපහාස වන අන්දමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂය ලෙස ගන්නා පියවර සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ඊයේ රාවණා බලය සංවිධානය එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත වෙත පැමිණියේය.

එලෙස පැමිණි භික්ෂූන් වහන්සේලාට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා හමුවීමට අවස්ථාව හිමි වුණි.

මේ අතර අදත් භික්ෂූන් වහන්සේ හා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ රන්ජන් කළ ප්‍රකාශය පිටුපස පක්ෂයේ ඉහළ පිරිස් සිටින බවයි. 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම ඩී.වි.චානක මහතා ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයෙන් සමස්ථ ආණ්ඩුවේ මතය හුවා දැක්වු බවයි.

අමාත්‍ය පී.හැරිසන් සඳහන් කළේ අමාත්‍ය රන්ජන් රාමනායක වහාම සංඝරත්නයෙන් සමාව ගතයුතු බවයි.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසුවේ බෞද්ධ හා කතෝලික ජනතාව අතර විරසකයක් ඇති කිරීමට දැනුවත්ව එජාපය කටයුතු කරන බවයි.

Rate this item
(1 Vote)