July 21, 2019

"ෆේස්බුක් හරහා වෛරය පතුරුවන්නන් ICCPR විධිවිධාන යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්"

ෆේස්බුක් හරහා වෛරය පතුරුවන්නන් ICCPR විධිවිධාන යටතේ අත්අඩංගුවට ගතහැකි බව නීතීඥ සංගමය පවසයි

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අයථා ලෙස භාවිතා කරමින් ඇතැම් පිරිස් ජාතීවාදී හා වෛරී ප්‍රකාශ පැතිරවීමට කටයුතු කරන ආකාරයත් එහි ඇති අයහපත් ප්‍රතිවිපාක පිළිබඳවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ඉකුත් 14 වන දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සම්මන්ත්‍රණයකදී  සාකච්ඡාවට ලක් කරනු ලැබිණි.

එහිදී අදහස් දක්වමින් නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා මෙසේ පැවසීය.

"ජාතිවාදී කලබල ඇතිකරවීම සඳහා ඇතැම් කණ්ඩායම් සැඟවුණු අරමුණු සහිතව ක්‍රියා කරමින් සිටිනවා. කවර කණ්ඩායමක් මගින් සිදුකරනු ලැබූවත් එය වරදක්. බහු ජාතික රටක් වන මෙම රටේදී අප එකිනෙකාට ගෞරව කරමින් සාමකාමීව ජීවත් වීමට ඉගෙනගත යුතුයි."

සමාජ මාධ්‍ය ඔස්සේ වෛරය පැතිරවීමට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව පෙන්වා දෙමින් ඉන්දතිස්ස මහතා මෙසේ දහස් දැක්වී ය. "පහත් කොට සැලකීම, සතුරුභාවය හෝ ප්‍රචණ්ඩත්වය ඇතිවන ආකාරයට යුද්ධය සඳහා පෙළඹවීම හෝ ජාතික හෝ ආගමික වෛරය පැතිරවීම කිසිදු පුද්ගලයෙකු විසින් සිදු නොකළ යුතු බව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මගින් දක්වා තිබෙනවා."

"රටේ පොලීසියට සමාජ මාධ්‍ය වල පළවන කරුණු සම්බන්ධයෙන් පියවර ගත නොහැකි බවට සමහරුන් අතර මතයක් තිඛෙනවා. මෙය වැරදි මතයක්. ෆේස්බුක් හි යමක් පළකිරීම යනු, වාචිකව කිසියම් පාර්ශ්වයකට හෝ ප්‍රජාවකට එරෙහිව අවමානාත්මක අදහස් පළකිරීමට සමානයි. එම නිසා එවැනි පුද්ගලයන් ෂක‍ක‍ඡඍ විධිවිධාන යටතේ නීතිය හමුවට ගෙන ඒමට පුළුවන්. මෙහි වෙනස ඇත්තේ ඔප්පු කිරීමේ ක්‍රමවේදයේ පමණයි. ඒ සඳහා පුහුණුවක් ලෙස අදාළ බලධාරීන් පරීක්ෂණ නඩු පැවරීම් සිදුකිරීම ආරම්භ කළ යුතු වෙනවා." ඉන්දතිස්ස මහතා අවධාරණය කළේය. 

1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව, 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව ද 1980 ජූනි මස 11 වන දින සිට එක් විණි. ඉන්දතිස්ස මහතා පෙන්වා දුන්නේ, රටක් එක්සත් ජාතීන්ගේ සම්මුතියකට අත්සන් තැබූ පසු, එම සම්මුතියට ගැළපෙන ආකාරයට රටේ නීති සකස් කිරීම අදාළ රට සතු වගකීමක් බවයි. සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන්, 2007 වසරේදී ශ්‍රී ලංකාව ICCPR පනත සම්මත කරන ලදී.

"ශ්‍රී ලංකාව අවම වශයෙන් වසර 700 කට ආසන්න කාලයක් බහු ජාතික රටක් ලෙස පැවතුණු බවත්, එය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක් බවත් මා දැඩිව විශ්වාස කරනවා.  මෙහි අප සියලූ දෙනාම සමානයි. ඒ නිසා අප නීතියට හෝ, නැතිනම් අප තුළම ඇති මානව ගුණාංග අනුව ජීවත්වීමට ඉගෙනගත යුතුයි. ඕනෑම රටක ජනමාධ්‍ය වලට ඉටුකළ හැකි විශාල කාර්යභාරයක් තිඛෙනවා. බහු ජාතික සමාජයකදී ඔවුන් ජනතාව එකමුතු කිරීමට කටයුතු කළ යුතුයි." ඉන්දතිස්ස මහතා වැඩිදුරටත් පැවසී ය. 

ශ්‍රී ලංකා නීතීඥ සංගමය සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණයේ තේමාව වූයේ "සාමාන්‍ය නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම" යන්නයි. නීතිය, සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ වැදගත්කම, පොලීසියේ කාර්යභාරය සහ රටේ ජනතාවගේ වගකීම් සම්බන්ධයෙන් එහිදී අවධාරණය කෙරිණි.

මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපති සහ ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවී, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ යන මහත්වරු අදහස් දැක්වූහ.

Rate this item
(0 votes)