August 04, 2020

බුද්ධි අංශ ගැන හමුදාපතිගෙන් අහන්න කාරක සභාවෙන් ජනමාධ්‍ය ඉවත් කරයි

බුද්ධි අංශ සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවෙන් මීට ටික වේලාවකට පෙර ජනමාධ්‍ය ඉවත් කරනු ලැබීය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද දහවල් කමිටුව හමුවේ සාක්කි ලබාදීම ආරම්භ කළේය. 

පාස්කු ප්‍රහාරයෙන් පසු කරගෙන යන පරීක්ෂණවලට යම් ඇමැතිවරයෙක් හෝ දේශපාලනඥයෙක් හෝ යම් පුද්ගලයෙක් බලපෑම් කළාද  විශේෂ කාරක සභාව යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.  ඊට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා මෙසේ ද කීවේය.

‘‘අප්‍රේල් 21 මෙම සිද්ධිය වුණාට පස්සේ මම යුද හමුදාව ආරක්ෂක රාජකාරිවල යෙදෙව්වා. ලැබුණු උපදෙස් අනුව සහ මගේ තියන බලතල අනුව යුද හමුදාව පරීක්ෂා කිරීම්, වටලා පරීක්ෂා කිරීම්, සෙවීම් , අත්අඩංගුවට ගැනීම් සිදු කළා. ඒ අවස්ථාවේ මේ වසරේ අප්‍රෙල් 26 වැනි දා දෙහිවල ප්‍රදේශයේදී ඉෂාම් අහමඩ් කියලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. මට මතක නෑ එදාමද ඊට පහුවදාද කියලා ගරු රිෂාඩ් බදියුදීන් අමාත්‍යතුමා මට දුරකතන ඇමතුමක් දුන්නා. මගේ අංකය සෑම කෙනෙක්ම දන්නවා. ඇමතිතුමා මම අඳුනනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් බොහෝ දෙනකු  මම යුදහමුදාපති හැටියට දන්නවා. රටේ ජනතාවත් දන්නවා. ඒ නිසා ඒ අය පෞද්ගලිකව මට කතා කරනවා. මේ සිද්ධියට පමණක් නෙමෙයි වෙන දේවල්වලටත් මාත් එක්ක කතා කරලා තියෙනවා. එදින එතුමා මගෙන් කතා කරලා ඇහුවා මේ කියන පුද්ගලයාගේ නම කියලා අත්අඩංගුවට ගත්තද කියලා. ඒ අවස්ථාවේ මම කිව්වා මම එහෙම කියන්න දන්නේ නෑ, මම ඒ ගැන සොයා බලා දැනුම්වත් කරන්නම් කිව්වා. 

දෙවැනි වතාවටත් මට කතා කළා. මම කිව්වා මම  තවම සොයනවා, මට මේ වෙලාවේ උත්තරයක් දෙන්න බෑ කියලා.  ඒ අවස්ථාවේ කොළඹ ප්‍රදේශයේ රාජකාරි කළේ විශේෂ බලකාය. ඒ වෙලාවේ මම ඇහුවා මෙහෙම පුද්ගලයෙක් අත්අඩංගුවට අරං තියනවද කියලා. ඒ පුද්ගලයා අරගෙන තිබෙන බව මට තහවුරු වුණා. 

නැවත වතාවක් එතුමා හවස් වරුවේ කතා කළ වෙලාවෙදි මම ‘ඔව් අත්අඩංගුවට අරං තියනවා, ඔබතුමා මට මේ කෝල් එක දෙන්න ඕනා තව අවුරුදු එක හමාරකට පස්සේ‘‘ කියා කිව්වා. ඒක සුහද සාකච්ඡාවක්. මම එතනදි අදහස් කළේ ඒ තියන බලතල අනුව ඕනෑම අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පැය 24ක් ඇතුළත   ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දිය යුතුයි. මම දන්නවා ත්‍රස්තවාදය වැලැක්වීම යටතේ පරීක්ෂණ සඳහා ඔහු  ඊට පස්සේ වසර එක හමාරක් දක්වා වුණත් රඳවාගන්න හැකියාවක් තිබෙනවා.  කිසිම වෙලාවක එතුමා මට බලකිරීමක් කළේ නෑ. මගෙන් අසාසිටීමක් කළා. සමහර අවස්ථාවලදි මම පාවිච්චි කරලා තියෙනවා මගෙන් ඉල්ලීමක් කළා කියලා. තුන් වැනි අවස්ථාවේ එතුමා මට කිව්වා මේ පුද්ගලයා එතුමා යටතේ වැඩ කරන උසස් නිලධාරියෙක්ගේ පුතෙක්, එම නිසා පොඩ්ඩක් හොයලා බලන්න මොකක්ද කරන්න පුලුවන් කියලා. එහෙම නැතුව කිසිම අවස්ථාවකදී ඇමතිතුමා හෝ වෙන දේශපාලනඥයෙක් හෝ රජයේ නිලධාරියෙක් හෝ මේ දක්වා මට කිසිම බලපෑමක් ඇති කරලා නෑ. මේ කියන ඇමතිතුමාත් කිසිම අවස්ථාව මට බලපෑම් කළේ නෑ. ‘‘

කාරක සභිකයෙක් -  වෙන කවුරුන් ඇමතිවරයෙක් හෝ ඔබට බලපෑම් කරලා තියෙනවද?

යුද හමුදාපති - අතිගරු ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කිසිම ඇමතිවරයෙක් මේ වෙනකම් මට බලපෑම් අති කරලා නෑ . 

යුද හමුදාපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීම ආරම්භ වී මිනිත්තු 18කට පමණ පසු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්නයක් යොමු කළේය.

ෆොන්සේකා මහතා - අයිඑස්අයිඑස් උවදුර රටට බලපාන්න පටං අරන් නම් ඒකට මුහුණ දෙන්න බුද්ධි අංශ ප්‍රතිසංවිධානයක් කරන්න කොච්චර කල් යනවා කියලද ඔබ හිතන්නේ?

රවී කරුණානායක මහතා - ෆීල්ඩ් මාර්ෂල් ඇහුවේ වැදගත් ප්‍රශ්නයක් නිසා අපි මාධ්‍ය මෙතනින් පිටකරමු.

කාරක සභිකයෙක් - මාධ්‍යවල මහත්වරු කරුණාකරලා පොඩ්ඩක් ඉවත්වෙන්න. මෙය සංවේදී ප්‍රශ්නයක් කියලා අපි හිතනවා. ඒ නිසා ඔබතුමාලා මෙතනින් ඉවත් වෙන්න. 

ෆොන්සේකා මහතා - එහෙනම් අපි මාධ්‍ය හිටියට කමක් නැති ප්‍රශ්න දෙක තුනක් තියෙනවා ඒක අහමු.

කාරක සභිකයෙක් - මාධ්‍ය ඉවත් කරලා අහන ප්‍රශ්න ඔබතුමා දැන් අහන්න.

ඉන් පසු ජනමාධ්‍ය ඉවත් කර සාක්කි ලබා ගැනීම ආරම්භ විය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 June 2019 16:27