November 17, 2019

ටැබ් ලබාදීම යළි අර්බුදයකට

රජයේ පාසල්වල අපොස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිමට අනුමැතිය දී තිබියදී ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් සියලු දෙනාටම ටැබ් පරිගනක ලබාදීමට කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) උදේ පැවැති කැබිනට් රැස්වීමේ දී  කණගාටුව පළ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සම්පුර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නම් එය නියමු ව්‍යාපෘතියක් වන්නේ කෙසේ දැයි විමසා ඇති ජනාධිපතිවරයා අදාළ යෝජනාව සාකච්ඡාවට ගැනීම සතියකින් කල්දමා ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

රජයේ ආයතනවල වියදම් 15% කින් කපන ලෙස දැනුම් දී තිබියදී ටැබ් පරිගනක නොමිලේ දීමට රුපියල් (කෝටි 227 ක්) මිලියන 2,275 ක මුදලක් වැය කිරිම ගැටලුකාරී බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

උසස් පෙළ සිසුන් 189,000 කට ටැබ් පරිගණක නොමිලේ ලබාදීම සඳහා අනුමැතිය ඉල්ලා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

සති දෙකකට පමණ පසුව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) උදේ 9.30 ට රැස්වූ අතර එය පුරා පැයකට අධික කාලයක් පැවැත්විණි.

Rate this item
(1 Vote)