July 21, 2019

පැලවත්ත-සෙවණගල සීනි කම්හල් දයා ගමගේට පැවරීමේ සූදානමක්

පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලා යළි අමාත්‍ය දයා ගමගේ මහතාට පැවරීමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹදී පැවැසීය.
 
ඒ සදහා ඌන ක‍්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීම) පනත් කෙටුම්පත  ලබන බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරිමට සූදානමක් පවතින බවත් පැවසූ  මහලේකම්වරයා ආණ්ඩුවේ මෙම උත්සාහයට එරෙහිව දැවැන්ත ජනබලයක් ගොඩනගන බවත්  සදහන් කළේය.
 
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.

‘‘ඌන ක‍්‍රීයාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීම) පනත් කෙටුම්පත  ලබන බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කරලා තියෙනවා. 2011 දි මේ වගේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළා.  එතෙන්දී ආයතන 36ක් පමණ රජයට පවරා ගත්තා.  මේ පවරගත්ත ආයතනවලින් බොහෝමයක් අද වනවිට ලාබ ලබමින් සිටිනවා. උදාහරණයක් විදියට ගත්තොත් පැලවත්ත සහ සෙවනගල  සීනි කර්මාණ්ත ශාලා ඉදිරියෙන් සිටිනවා. ලංකා සීනි සමාගම 2002 වසරේදි  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ පෞද්ගලීකරණයට ලක් වුණා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ එදා  දයා ගමගේ මහතාගේ සමාගමක් විසින් මෙම ආයතන මිලදී ගනු ලැබුවා. මේ නිසා උක් ගොවින් විශාල පිරිසකට ආදායම් මාර්ග  අහිමි වුණා. එම ආයතන මගින් 2000 වසර  වනවිට සීනි මෙටි‍්‍රක් ටොන් විසිදහසක් නිෂ්පාදනය කළා. 2011 දී යලි මෙය පවරා ගැනීමේදී එය මෙටි‍්‍රක් ටොන් 6000 දක්වා පහත වැටිලා  තිබුණා.  නමුත් 2018 වසර වන විට යළි සීනි මෙටි‍්‍රක්  ටොන් 14700ක් නිෂ්පාදනය කරලා තියෙනවා. 2002 වසර වනවිට රුපියල්  මිලියන 985ක් මේ ආයතනය සතුව තිබුණා.  සීනි  ආයතනයේ ස්ථාවර තැන්පතු අද වනවිට රුපියල් මිලියන 781ක් තියෙනවා. ඒ වගේම පැලවත්ත ආයතනයෙන්  සෙවනගල ආයතනයට ලැබිමට රුපියල් මිලියන 476ක්  තියෙනවා. ඒ අනුව රුපියල් මිලියන  1257ක  මූල්‍ය වත්කමක් අද වනවිට මේ ආයතනයට තියෙනවා."
 
"ඒ වගේම 2011 වසරේ සිට  මහා භාණ්ඩාගාරයෙන් සත පහක මුදලක් මේ ආයතනය ලබාගෙන නැහැ.  ඒ වෙනුවට වාර්ෂිකව රුපියල් මිලියන  700ක මුදලක් මේ ආයතනයෙන් මහා භාන්ඩාගාරයට ලැබෙනවා. මේ පනත මගින් නැවත මේ සමාගම දයාගමගේ  මහතාට ලබා දීම තුළින්  මේ ආදායම අහිමි කිරීමට යනවා.  මේ මගින් රටේ සීනි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. නැවත  ස්ප‍්‍රීතු නිෂ්පාදනය වැඩිවෙයි. ඒ වගේම මේ ගොවීන්ට රැකියා හිමිවීමේ අවදානම තියෙනවා. මේ ආයතනයේ  සේවකයන් දහසක් පමණ සිටිනවා. ඒ වගේම මේ කර්මාන්තයෙන් යැපෙන පිරිස පහලොස් දහසක් විසිදහසක් පමණ වනවා. මේ සමාගම් පෞද්ගලික අංශයට පැවරීමට සේවකයන් දැනටමත් විරෝධය පළ කර තිබෙනවා. අපි විශේෂයෙන්ම ආණ්ඩුවට කියනවා පැලවත්ත සහ සෙවනගල  සමාගම් දෙක පිළිබඳ මෙයට වඩා සැලකිලිමත් වෙන්න කියලා.  මේ  ආයතන පෞද්ගලිකරණයට විරුද්ධව අපිට කරන්න පුලුවන් උපරීම කාර්යභාර්යය අපි කරනවා. අපි මේ සේවකයන් සමඟ ඉදිරියේදී දැවැන්ත ජනබලයක් ගොඩනගනවා" යැයිද දයාසිරි ජයසේකර මහතා එහිදී පැවැසීය.

Rate this item
(0 votes)