July 21, 2019

ජනපති නොමැතිව කැබිනට් රැස්වීම් නෑ

ජනාධිපතිවරයා නොමැතිව කැබිනට් මණ්ඩලය රැස්නොවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරුන් තීරණය කර ඇති බව පුවත්පතකට වාර්තාවේ.

කැබිනට් මණ්ඩලය පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවසන් තීරණය කුමක්දැයි දැනගන්නාතුරු මෙලෙස කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා නොමැතිව කැබිනට් මණ්ඩලය රැස්කිරීමේ බලය අගමැතිවරයා සතුව තිබුණද 2015න් පසුව යහපාලන ආණ්ඩුව ලෙසත්, පසුව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ලෙසත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පැවැත්වීය.

එබැවින් ජනාධිපතිවරයාගේ ධුර කාලයේ අවසන් මාස කිහිපයද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පැවැත්වීම වැදගත් බවද ආණ්ඩුපක්ෂය සාකච්ඡා කර ඇත.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ධුර කාල සීමාවේදී (2001 – 2004) රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති අතර, එහිදී චන්ද්‍රිකා ජනාධිපතිනිය නොමැතිව අගමැතිවරයාගේ  ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පැවැත්වූ බවත්,ඒ හේතුවෙන් මේ අවස්ථාවේදීද ජනාධිපතිවරයා නොමැතිව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්කිරීමට හැකියාව ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපතිවරයා නොමැතිව කැබිනට් රැස්වීම පැවැත්වීම මේ අවස්ථාවේදී නොකළ යුතු බව එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.

එසේම පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට හා මියගිය පවුල්වල ඥාතීන්ට වන්දි ලබාදීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවත්, ආණ්ඩුවේ සංවර්ධන කටයුතු සිදුකළ යුතුව ඇති බැවින්ද ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලය රැස්විය යුතු බවද කැබිනට් අමාත්‍යවරුන් දැනුම්දී ඇති බවත් වාර්තාවේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කමිටුවට බුද්ධි අංශ හා පොලිස් නිලධාරීන් කැඳවීම නවතන ලෙසත්, එසේ නොවුනහොත් තමන් කැබිනට් රැස්වීමට සහභාගි නොවන බවට ජනාධිපතිවරයා කළ දැනුම් දීම මත පෙරේදා (11) දින කැබිනට් මණ්ඩල රැස්වීම  නොපැවැත්විණි.

කැබිනට් මණ්ඩල රැස්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මේ සතියේ දින වෙන් කර නොමැති අතර, ඒ වෙනුවෙන් නැවත දැනුම්දීමක්ද සිදුකර නොමැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කැබිනට් ආමත්‍යවරු සඳහන් කළහ.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පෙරේදා (11) දිනයේදී රැස්වුණු අතර, යළි එම කාරක සභාව අද (13) දිනයේද රුස්වීමට නියමිතය.

එමෙන්ම මෙම විශේෂ කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යෑමටද එම සභාව තීරණය කර ඇති අතර, කාරක සභාවේ සාමාජිකයන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමේ සූදානමක් නොමැති බවද මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විශේෂ කාරක සභාවේ සාමාජිකයෙක්  පුවත්පතට පවසා ඇත.

Rate this item
(0 votes)